ශ්‍රී ලංකාවේ ධීවර සංගම් බලගැන්වීම සහ ඒවායේ කළමනාකරණය, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, දින 10ක ජාත්‍යන්තර ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ කාර්යක්ෂම ධීවර සමිති ගොඩනැගීම සහ බලගැන්වීම සඳහා වන සමූපකාර සමිති ක්ෂේත්‍ර සංචාරය” යන තේමාවට අනුව යි මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ඇත්තේ.
ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් මේ මස 14 වනදා සිට 23 වනදා දක්වා එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, පූනේ නගරයේ දී පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම මෙම පුහුණු වැඩසටහනට අදාළ සාකච්ඡාවක් ද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
ගාල්ල, මාතර, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙකු සහ එම දිස්ත්‍රික්කවලින් තෝරාගත් ධීවර සමිති 17ක නියෝජිතයින් ද ඇතුළත්ව 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සමිතිවල කළමනාකරණ ක්‍රමවේද, මෙහෙයුම් ක්‍රමවේද, සාමාජික සහභාගීත්වය, ආර්ථික බලගැන්වීම, අලෙවිකරණ උපායමාර්ග සහ ආයතනික ධාරිතා සංවර්ධනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම පුහුණුව හරහා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබා දීම සිදු වනවා.













