අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා කැඳවීමට අද (03) කොළඹ මහාධිකරණය නියෝග කලා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබුවා.
නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 21,22,25,38 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
එකී පැමිණිල්ලේ සියලුම සාක්ෂිකරුවන් හට නොතේසි නිකුත් කරන ලෙසත් එදින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.













