මැගසින් බන්ධනාගාරයේ නියාමකවරුන් ඝාතනය කිරීමට තොරතුරු රැසක් හුවමාරු කර ගත් හඬපට රැසක් අඩංගු ජංගම දුරකථනයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට නීති විරෝධී ද්‍රව්‍ය විසි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගතව සිටින “බෝල සුරේශ්” නැමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු සහස්පුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 190ක් ද මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 30ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මොහු 2025.07.07 වන දින ගල්කිස්ස පොලිස් වසමේ වටලප්පල පාරේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයේ යතුරුපැදිකරු බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 06 වනදා මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ඇතිවීමට දින තුනකට පෙර ඇප මත නිදහස්ව පැමිණි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.













