කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චීන ජාතිකයන් දෙදෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ඖෂධ මිගාර මහතා නියෝග කර තිබෙනවා.
ඒ අද (06) කොළඹ අපරාධ කොට්ටාසය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය ඉදිරිපත් කල අවස්ථාවේ දීයි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාස සඳහන් කලේ මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි.
හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවේදි සාක්ෂිකරුවන් විසින් හඳුනා ගත්තා.
සැකකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට සැකකෙරෙන අදාළ වින්දිතයාගේ මළසිරුර ඊයේ ඉකුත් ජුලි (23) ඇහැලියගොඩ, කරඳන ප්රදේශයේ ලඳුකැලෑවක සඟවා තිබියදී සොයාගන්නා ලැබුවා.
චීන ජාතිකයන් තිදෙනෙක් අලුයම් කාලයේදී මසුන් ඇල්ලීම සඳහා කැබ් රථයකින් කොළඹ වරාය නගරය ප්රදේශයට පැමිණ තිබෙනවා.
එහිදී වෙනත් රථ දෙකකින් පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක් මොවුන්ට පහරදී, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබණා.
සැකකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයක් අතහැර දමා ගොස් තිබූ අතර, පසුව එම රථයේ තිබී වායු පිස්තෝලයක් (Air gun) ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
අතරතුර, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා කරඳන, ගෙට්ටුකඩ ප්රදේශයට ගොස් සිටි ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසකට අසල වූ කැලෑවක සැකකටයුතු ලෙස ගොඩගසා තිබූ ගල් ගොඩක් දැකගැනීමට ලැබී තිබෙනවා.
ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී මිනිස් අතක කොටසක් ලෙස පෙනෙන යමක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී එම සිරුරු කොටස් චීන ජාතිකයෙකුගේ බවත්, ඔහු කොළඹ වරාය නගරයෙන් පැහැරගනු ලැබූ පුද්ගලයා බවත් තහවුරු වුණා.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර අවිස්සාවේල්ල රෝහල වෙත ගෙනයනු ලැබුවා.
මළසිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඝාතකයන් විසින් වින්දිතයාගේ සිරුර ප්රවාහනය කිරීම සඳහා එම රථය භාවිතා කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රටින් පළායෑමට උත්සාහ කරමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන පැය 48 රඳවාගෙන ප්රශ්න කරනු ලැබුවා.













