ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුව විසින් අද (06) පාර්ලිමේන්තු පාලම, වටරවුම අසල විරෝධතාවයක නිරත වුණා.
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා තවමත් එම පිරිස ඊශ්‍රායලය කරා යෑමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉටු නොකළ බවට පවසමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
3000 අධික පිරිසකගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ නම් සඳහන් කර තිබුණ ද, පිටත්කර යැවීමේ දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවද විරෝධතාවයේ නිරත වූවන් සඳහන් කළා.
මේ අතර එම විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද සිදු කළා.
පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඊශ්‍රායල රැකියා සඳහා සුදුසුකම් ලැබූ 3500ට සාධාරණයක් ඉටු කළ යුතු බවත්, මෙම පිරිස අඩු පිරිවැයක් වැයවන ආකාරයට ඊශ්‍රාලයට යැවීමට කටයුතු කළ යුතු බවත්, ඊශ්‍රාලය සමඟ සාකච්ඡා කර රජයේ මාර්ගයෙන් යාමට හැකි ක්‍රමවේද වැඩි කළ යුතු බවයි.













