ඉරාන හමුදා ඉලක්ක 10 කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු හමුදාව පවසනවා.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ඒ ආසන්නයේ ස්ථාන කිහිපයකට ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා විසින් මෙම ප්‍රහාර සිදුකළ බවයි එම හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය තහවුරු කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ඉරානයේ රටේ වෙරළබඩ ස්ථාන පහකට බෝම්බ හෙලූ බවයි.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය Truth සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවයි.
ඉරානය කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට ඇති බවත්, ඉදිරියේදී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් ට්‍රම්ප්ගේ එම Truth සෝෂල් සටහනේ සඳහන්.
එය එසේ වන්නේ නම් ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැති වී යනු ඇති බව ඔහු අනතුරු අඟවනවා.
මේ අතර ඉරානය පවසන්නේ ඕනෑම ‘සතුරු ආක්‍රමණයකට’ ‘තලා දමන ප්‍රතිචාරයක්’ ලැබෙනු ඇති බවයි.
ඇමරිකානු-ඉරාන අන්තර්කාලීන ගිවිසුම යටතේ, “හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය පාලනය කිරීමේ විධිවිධාන” ටෙහෙරානය සමඟ ඇති බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කරන්නේ.
එය උල්ලංඝනය කරන නැව්වලට අතීතයට වඩා බලගතු ලෙස කටයුතු කරන බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබෙනවා.













