දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ඉරානය පැවසුවද, එක්සත් ජනපදය සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, අනුව එම සාකච්ඡා සඳහා සහභාගීවීමට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඊයේ (20) පස්වරුවේ ස්විට්සර්ලන්තය බලා වොෂින්ටනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර මෙම සාකච්ඡා සඳහා ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉරාන දූත පිරිසක් දැනටමත් ස්විට්සර්ලන්තය වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව සාකච්ඡා අද (21) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ අතර වොෂින්ටනයෙන් පිටත්ව යාමට පෙර එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සඳහන් කළේ “න්‍යෂ්ටික ගැටලුව” සහ “ලෙබනනයේ සටන් විරාම ගැටළුව” සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගැනීමට මෙම සකච්ඡාවල දී බලාපොරොත්තුවන බවයි.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි පැවසුවේ මෙම සකච්ඡාවල දී තම රට “අනෙක් පාර්ශවය තම කැපවීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටින” බවයි.
පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද මෙම සාකච්ඡා ආරම්භයට සහභාගී වන බවට ඔහුගේ කාර්යාලය දැනුම් දී ඇති බවයි මේ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සතිය මුලදී එක්සත් ජනපද සහ ඉරාන ජනාධිපතිවරු ලෙබනනයේ ඇතුළුව යුද්ධය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම අරමුණු කරගත් මූලික ගිවිසුමකට අත්සන් තැබුවා.
ඉදිරි දින 60 තුළ අවසන් ගිවිසුමකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා සඳහා කැපවීමක් එම ගිවිසුමට ඇතුළත් වනවා.













