අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ අනුව, ඇයට මින් පෙර නියම වී තිබූ දඬුවම් එලෙසම ක්‍රියාත්මක වනවා.
අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ තොරතුරු මත අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ මහත්මිය වරදකාරිය බවට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් 2022 මැයි 27 වැනිදා තීන්දු කරන ලැබුවා.
ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් සහ දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඬුවමක් නියම කෙරුණා.
එමෙන්ම, මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළා.
කෙසේ වෙතත්, එලෙස සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව, විත්තිකාරියගේ නීතිඥවරුන් විසින් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය ඉදිරිපත් කිරීමේ පදනම මත, ඇයට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුමක් ද ඉදිරිපත් කෙරුණා.
විත්තිකාරියට එරෙහිව වෙනත් පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති වීමත්, අභියාචනය විමසා බැලීමට විශාල කාලයක් ගතවීමත් යන කරුණු සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා බලා, දඬුවම් නියම වී දින 4කට පසු (2022 මැයි 31 දින) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් ඇයට ඇප ලබා දෙනු ලැබුවා.
2015 ජනවාරි 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ආගමන හා විගාමන පනත යටතේ මෙම නඩුව පවරනු ලැබුවා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ, එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව වෙත හෝ නොගොස්, ඇමති බිරිඳක් ලෙස සිය නිල බලය අවභාවිත කරමින් වක්‍ර මාර්ගයෙන් අදාළ බලපත්‍රය ලබාගෙන ඇති බවයි.
එලෙස ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණය, අද (11) එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමඟම ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වී තිබෙනවා













