තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනයක්’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (15) උදෑසන 9.30ට නිකුත් කර ඇති අතර, එය හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත් වෙනවා.
අද උදෑසන දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලි මීටර් 193ක වර්ෂාපතනයක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මිලිමීටර අවිස්සාවේල්ල, පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 175ක්, ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 162ක් සහ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 152ක් ලෙස වර්ෂාපතනය සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.













