රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා විසිතුරු මල් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළේ “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (10) අලුයම මෙම සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු අද (10) අලුයම 12.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 03ක් තුළ ප්‍රිලෝඩෙන්ඩ්‍රම්, ඇග්ලෝනිමා, ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386ක් සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකනු ලබනවා.



