හිටපු අමාත්‍ය රාජිතට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

අද (09) දින ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඒ, අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමටයි මෙහිදී නියෝග කළේ.

එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

මෙම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගෙන් ඉකුත් තුන්වනදා අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ කොරියානු සමාගමේ අනුග්‍රහය ඇතිව විදේශ සංචාරයක නිරත වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු “සී වූ “නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික අගැයීම් වාර්තා යනාදිය ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

ඒ, අනුව මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඊට අදාළව එම සංචාරයට සහභාගි වූ මෙම සැකකරුගේ ඥාතීන් හා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව ඇය කියා සිටියා.

ඒ, අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දැඩි විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව විදේශ සංචාරයක නිරත වූ බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඔහු එහිදී නිරත වී ඇත්තේ නිල සංචාරයක් බවත් සඳහන් කළා.

ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන දේශනයක් සිදුකිරීම සඳහා සැකකරු සිය භාර්යාව සමග පමණක් මෙම සංචාරයේ නිරත වී ඇති අතර එය නිල සංචාරයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ඒ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙන බව සඳහන් කර සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සංචාරය පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෙම සැකකරුගේ ප්‍රකාශය සටහන් කළ අවස්ථාවේදී දැයි විමසුවා.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් “නැහැ ස්වාමීනී. ඊට පෙරත් කරුණු හෙළිවෙලා තිබුණා. සැකකරුගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා,” යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන සාක්ෂිකරුවන් වන අසේල සංජීව පෙරේරා සහ උචිත අනුරාධ යන අයගේ ප්‍රකාශවලින් සැකකරුගේ මෙම විදේශ සංචාරය රාජකාරීමය සංචාරයක් බවට කරුණු දක්වා තිබෙන බවත් කියා සිටියා.

සැකකරු අධිකරණය මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම එල්ල කර තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, ඔහු විසින් සිදු කරනු ලැබුවේ නීතියෙන් තමන්ට හිමි වී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන විවිධ අපේක්ෂිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් බව සඳහන් කළා.

නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බවත් නීතියේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළා.

මෙම සංචාරයට සැකකරු සමග ඔහුගේ භාර්යාව පමණක් සහභාගි වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ වුණේ, මීට වසර 13කට පෙර බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදුකළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසුවා.

ඒ, අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ සංචාරය සම්බන්ධයෙන් අදාළ කොරියානු සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළා.

එහිදී සැකකරු ඔහුගේ ඥාතීන් සමඟ විදේශ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය යටතේ සිදු වූ බවට කරුණු තහවුරු කරගත් බවත් එම නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට හමුවේ කියා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, “මෙම සැකකරු විදේශ සංචාරයක නිරත වී තිබෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වුණා. එම සංචාරයට සහභාගි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශත් සටහන් කරගෙන තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය වන්නේ නෑ,” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරීමට නියම කර සිටියා.
ඉන් අනතුරුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 30 වැනිදා කැඳවීමට ද නියම කෙරුණා.

2013 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25