හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පදවි සම්ප්‍රාප්තියේ සිව්වැනි වසර සැමරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල මුදලින් රුපියල් දහහත් ලක්ෂ හතළිස් අටදහස් අටසිය හැත්තෑ හතක මුදලක් වැය කර දැන්වීම් පළ කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුකරය අද (30) දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ දී කැඳවනු ලැබුවා.
අදාළ නඩුකරයේ විත්තිකරුවන් දෙදෙනා වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට හා දෙවැනි විත්තිකාර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන යන අයට එරෙහිව අධිචෝදනා මෙහිදී අධිකරණය ඉදිරියේ දී ගොනු කළා.
එලෙස අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 20 වැනි දින පැවැත්වීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා ව රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින්, එකී නඩුව පැවරීම සම්බන්ධයෙන් හා එකී නඩුව විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඉදිරි නඩු වාරයේ දී මූලික විරෝධතා ගොනු කරන බව ප්‍රකාශ කර සිටියා.
එම විත්තිකරුවන් දෙදෙනාම අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.





