වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න – විපක්ෂ නායකගෙන් රජයට දැනුම්දීමක් (වීඩියෝ)

වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඉරාන – ඊශ්‍රයල යුද්ධයෙන් අප රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

පර්සියානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ තෙල් ක්ෂේත්‍රයේ ද ස්වාභාවික වායු ගෑස් ක්ෂේත්‍රයේත් බරපතළ ගැටලුවක් උද්ගත වන බවත්, ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට පියවර ගැනීමට නියමිත බවත්, මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැපයුමෙන් 20-30%ක් අතර ප්‍රමාණයකට මෙන් ම ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3කට වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශ්ව අනතුරු අඟවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

රටක් ලෙස ප්‍රේක්ෂකයන් ආකාරයෙන් බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතළ ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බව‍යි විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ බලශක්ති ක්ෂේත්‍රයට සිදුවන බලපෑමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අප ද රටක් ලෙස පියවර ගෙන මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයාගේ අදහසයි.

මේ උද්ගත වී ඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමිවීමක් සිදු වුවහොත් එය රටට බරපතළ ලෙස බලපාන බැවින් ඒ ගැන ද සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
18
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?