අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් සඳහා අනුකමිටු 06ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව 2025.06.03 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබුවා.
මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව හරිනි අමරසූරිය (සභාපති), අනුර කරුණාතිලක, රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේසන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු නියෝජනය කරන අතර පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකමිටුව කෞෂල්‍යා ආරියරත්න (සභාපති) මයිල්වාගනම් ජෙගදීස්වරන්, චන්දන තෙන්නකෝන්, සුගත් වසන්ත ද සිල්වා සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීහු නියෝජනය කරනවා.
අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව ගරු සමන්මලී ගුණසිංහ (සභාපති), අබූබකර් අතම්බාවා, සංජීව රණසිංහ, ආර්. එම්. සමන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් නියෝජනය කරන අතර, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව මහින්ද ජයසිංහ (සභාපති), (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි සහ රුවන් මාපලගම යන මහත්වරු නියෝජනය කරනු ලබනවා.
එමෙන්ම උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න (සභාපති), උපාලි පන්නිලගේ මහතා, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, නිමල් පලිහේන සහ මංජුල සුගත් රත්නායක යන මහත්වරු ඇතුළත් වන අතර, නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුවට නලින් හේවගේ (සභාපති), ඩී.වී.චානක, සිවඥානම් ශ්‍රීතරන් සහ ඉම්රාන් මහරූෆ් යන මහත්වරු ඇතුළත්.
විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී මෙන්ම විශ්වවිද්‍යාල තුළ ද ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදු නොවීමට වගබලා ගැනීම සහ ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසැල්වල ගැටලු, ගුරු හිඟය ආදී ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළා.
මේ පිළිබඳව ගත හැකි කඩිනම් පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා රජය කඩිනමින් මැදිහත්වන බව පැවසුවා.













