බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද ජැෆර් එක්ස්ප්‍රස් දුම්රියේ සිටි දුම්රිය මගීන් 300කට වැඩි පිරිසක් (340ක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත) සාර්ථකව ත්‍රස්ත්‍ර ග්‍රහණයෙන් නිදහස් කරගන්නා ලද බව පාකිස්තාන බලධාරීන් පවසනවා.
පැය 24කට වැඩි කාලයක් තිස්සේ බලුකිස්තාන සටන්කාමීන් සහ පාකිස්තාන ආරක්ෂක හමුදා අතර පැවති ගැටුමට මැදිව හිඳ ප්‍රාණ ඇපයෙන් නිදහස් වූ දුම්රිය මගීන් සිය ගණනක් අද (13) පෙරවරුවේ ක්වෙටා නගරයට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
දුම්රිය පැහැර ගත් කණ්ඩායමේ සිටි සන්නද්ධ සටන්කාමීන් 33 දෙනෙක් ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
ඒ් සමගම ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ ආරක්ෂක භටයන් හතර දෙනෙකු තම ප්‍රහාරවලින් මියගිය බව ප්‍රහාරයේ වගකීම භාර ගත් බලුච් විමුක්ති හමුදාව නිවේදනය කළා.
ප්‍රහාරය එල්ල වන විට දුම්රියේ මගීන් 440ක් පමණ සිට ඇති බව පාකිස්තාන හමුදා ප්‍රකාශකවරයා පවසනවා.
හමුදා ප්‍රහාර මධ්‍යයේ ඇතැම් සටන්කාමීන් දුම්රියෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් මගීන් කිසියම් පිරිසක් අවට කඳුකර ප්‍රදේශයට රැගෙන යන්නට ඇති බව ආරක්ෂක නිලධාරීන් සැක පළ කරනවා.
ඛනිජ නිධිවලින් පොහොසත්, පාකිස්තාන පාලනය යටතේ පවතින බලුකිස්තාන් ප්‍රාන්ත අගනුවර වන ක්වෙටා සිට උතුරු පෙෂාවර් නගරය දක්වා ගමන් කරමින් තිබූ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය බලුච් විමුක්ති හමුදාව විසින් පැහැරගෙන තිබුණේ සිරගතකර සිටින තම දේශපාලන සගයින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.
එම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලධාරීන්ට පැය 48 ක කාල සීමාවක් ලබා දී තිබූ සටන්කාමීන්, එය මග හැරියහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දැමීම ආරම්භ කරන බවට තර්ජනය කර තිබුණා.