ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (27) දිනට නියමිත ව තිබුණ ද, එය හෙට (28) දින දක්වා කල් දමා තිබෙනවා.
එසේ කල් තැබීමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන අතර, ඒ අනුව එකී නඩු විභාගයේ ඇසින් දුටු සාක්ෂි පිළිබඳ ව වන විභාග කටයුතු හෙට දිනය තුළ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ දී සිදු කෙරෙනු ඇති.
පෙබරවාරි මස 19 වැනි දින පෙරවරු 09ට පමණ ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිට ගනේමුල්ල සංජීව ව දැඩි ආරක්ෂාවක් මැද රැගෙන ආවේ අංක 09 දරණ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මතයි.
නමුත් එදින එම විනිසුරුවරයා නොපැමිණීම හේතුවෙන් එදිනටම සංජීවට එරෙහිව තිබූ තවත් නඩුවක් සඳහා ඔහුව අංක 05 දරණ උසාවිය වෙත ද ඉදිරිපත් කළා.
එම නඩු කටයුත්ත අවසන් ව හෙතෙම විත්ති කූඩුවෙන් පිටත්වීමට සූදානම් වන විට ම නීතිඥ වෙස්ගෙන පැමිණි අයෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන් ගනේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.
මේ සම්බන්ධයෙන් වන දෙවැනි සාක්ෂි විභාගයයි අද දිනට යෙදී තිබුණ ද හෙට දින තෙක් කල් දමා ඇත්තේ.