AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා පැවැත් වෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354ක්.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇති අතර, එම සංඛ්‍යාව 39ක්.

මෙවර මැතිවරණය සඳහා වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,881,129ක් ලෙස දැක්වෙනවා.

අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාක් ලියාපදිංචි වී ඇති මැතිවරණ දිස්ත‍්‍රික්කය වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර, එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක්.

2024 ජනධිපතිවරණය අද (21) දිනයේ පවත්වන බවට වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය ජුලි මස 26 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ජනධිපතිවරණයය අදාළ නාම යෝජනා භාර ගැනීම පසුගිය අගෝස්තු 15 වනදා සිදු කෙරුණා.

මේ අතර ඊයේ (20) පස්වරුව වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

මෙවර මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් 150,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, මෙම මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 28ක්.

මේ අතර තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට අද දිනයේත් ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි අතර, නිල ඡන්ද පත්‍රිකාවක් නොමැතිවවුව ද ලියාපදිංචි වී ඇති ඡන්දදායකයෙකුට වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර ඇත්තේ සීමිත පුද්ගලයින් සංඛ්‍යාවකට වන අතර, ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල නිවේදන මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම් වශයෙන් රැස්වීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඡන්දදායකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?