පුද්ගලයින් 151 දෙනෙකුට මරු කැඳවූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් අනතුරුව රජයේ රැකියා අයදුම්කරුවන් සඳහාවන කෝටා ක්‍රමය සංශෝධනය කිරීමට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයට අද තීරණය කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයයේ නව තීරණයට අනුව රැකියාවලින් 93%ක් කුසලතා මත විය යුතු අතර, නිදහස් සටන්කාමීන්ගේ ඥාතීන්ට 5% ක් සහ වාර්ගික සුළුතර සාමාජිකයින්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා 2%ක් ලෙස සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.
තීන්දුව ලැබුණු වහාම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අසල වීදි නිහඬ වූ අතර, ඩකා අගනුවර පුරා හමුදා කණ්ඩායම් යොදවා ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේට්ටුවෙන් පිටත හමුදා ටැංකියක් ස්ථානගත කර ඇති බවයි තොරතුරු වාර්තා කළේ.
අපේක්ෂා කරන රජයේ රැකියා සඳහා දේශපාලනීකරණය වූ ඇතුළත් වීමේ කෝටාවට එරෙහි බංගලාදේශ සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය දින කිහිපය තුළම ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරත වුණා.
විරෝධතාවයේ නිරත සිසුන් ඉල්ලා සිටියේ 1971 දී පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% දක්වා වෙන් කරන කෝටා ක්‍රමය නතර කරන ලෙසටයි.
ඒ, අනුව නව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 30% ක්ව පැවති එම කෝටා ක්‍රමය 5%ක් දක්වා අඩුකර තිබෙනවා.