කොකේන් ගුලි ගිල ආ උගන්ඩා ජාතිකයා ගුවන්තොටේ දී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන දිවයිනට පැමිණි විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර, ඒ අනුවයි මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු උගන්ඩාවේ කම්පාලා නුවර සිට දෝහා වෙත පැමිණ, කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර විදෙස් ජාතිකයා ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමේ දී ඔහුගේ උදරයේ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඔහුව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර, එහිදී විරේක බෙහෙත් ලබාදෙමින් කොකේන් ගුලි 45 ක් උදරෙයෙන් පිටතට ගෙන තිබෙනවා.