රාජකාරි අවසන් කර නිවස බලා ගමන් කරමින් සිටි ග්රාම නිලධාරිනියකට බැන වැදී ඇයට පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.
නාත්තන්ඩිය – කච්චිරාව ප්රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කච්චිරාව ග්රාම නිලධාරී වසම භාරව කටයුතු කරන ග්රාම නිලධාරිනිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ (15) පස්වරුවේ තමන් රාජකාරි රැස්වීමක් අවසන් වී නිවස බලා යමින් සිටින විට අතර මඟදී හමුවූ අයෙකු තමන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළ බවයි ග්රාම නිලධාරිනිය පොලීසියට පවසා ඇත්තේ.
අදාළ පුද්ගලයා කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවත්, ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛණයට නැවත ඇතුළත් කිරීම
සඳහා බන්ධනාගාරයෙන් නිදහස් වී සිටින බවට වන ලිපියක් රැගෙන එන ලෙස ඔහුට දැනුම් දී තිබූ බවත් ග්රාම නිලධාරිනිය වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.
කොස්වත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ.