තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය අද (14) ආරම්භ වුණා.
මෙම මගී යාත්‍රා සේවය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද ඉන්දියාවේ නාගපට්ටිනම් හිදී පැවැත් වුණා.
ඒ, සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී සිටියා.
මෙලෙස අන්තර්ජාතික, අධිවේගී මගී යාත්‍රා සේවාවක් යළි ආරම්භ වූයේ දශක හතරකට ආසන්න කාලයකට පසුව වීමද විශේෂත්වයක්.
චෙරියපානි නැමැති ඉන්දීය අධිවේගී යාත්‍රාව මගීන් 50ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ නාගපට්ටිනම් වරායෙන්, කන්කසන්තුරේ වරාය බලා අද (14) පෙරවරු 8.15ට පමණ ගමන් ආරම්භ කළා.
එක් ගමන් වාරයක දී යාත්‍රාවේ මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි අතර, යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක්.
මෙම යාත්‍රාව පෙරවරු 07.00ට නාගපට්ටිනම් සිට ආරම්භ වී පෙරවරු 11.00ට කන්කසන්තුරය වෙත ළඟාවන අතර, ආපසු ගමන පස්වරු 01.30 ට ආරම්භ වී පස්වරු 05.30ට නාගපට්ටිනම් වෙත ළඟා වීමට නියමිතයි.













