ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කරන සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි
දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි (අවු:29) නම් අයෙකි.ඔහු කුරුණෑගල – දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉකුත් 10 වෙනිදා සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය කියයි.
ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අයි.එම්.එස්.පී.සුමනදාස යන අය විසින් පොලීසියට දුරකතන ඇමතුමක් මගින් ලබා දී ඇති තොරතුරු අනුව නවගත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
තම කාර්යාලයේ සේවය කරන සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් 10 වෙනිදා සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්,එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන්වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත.ඒ අනුව අතුරුදහන්වී ඇති සැළසුම් ශිල්පියාගේ සිරුර සොයා ගැනීම සදහා නාවුක හමුදාවේ පුත්තලම කදවුරේ කිමිදුම් කරුවන් ගෙන්වීමට කටයුතු කර ඇති බවද නවගත්තේගම පොලීසිය සදහන් කරයි.
වැව් තාවුල්ලේ සිදු කරන අනවසර වගාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අයෙකු ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව පොලීසිය කියයි.
