සැණකෙළි භූමියේ වෙළඳ කුටිවල පරිභෝජනයට නුසුදුසු කුකුළු මස්

කැකිරාවේ පැවැත්වෙන සැණකෙළි භූමියක තිබූ ආහාර වෙළද කුටි පරීක්ෂාවකදී එහි තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුලු මස් තොගයක් හමුවී තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සැණකෙළි භූමියේ පවතින ආහාර සහ වෙළඳ කුටි සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විසිනුයි මෙම විශේෂ පරීක්ෂාව සිදු කර ඇත්තේ.

සැණකෙළි භූමියේ ඉදිකර ඇති තාවකාලික ආහාර කුටිවල ශිතකරණ තුල ගබඩා කර තිබියදී එම කුකුළු මස් තොගය හමුවී තිබෙනවා.

අදාළ වෙළද කුටි හිමියන්ට තරයේ අවවාද කිරීමෙන් පසු ආහාර පනතෙන් පැවැරී ඇති බලතල අනුව අදාළ කුකුළු මස් තොගය විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල මහතා කියා සිටියේ උත්සව භූමිවල පවතින වෙළඳ කුටිවලින් ආහාර පාන ලබා ගැනීමෙදී ජනතාව වඩාත් සැලකිළිමත්විය යුතු බවයි.

ආහාර මිළදී ගැනීමේ දී ඒවායෙහි පිරිසිදු භාවය, කල්ඉකුත් වීමේ දිනය මෙන්ම ඇසුරුම්වල ඇති ආරක්ෂිත භාවය වැනි කරුණු සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දෙනවා.

විශේෂයෙන් මේ දිනවල කුඩා දරුවන්ට මෙවැනි උත්සව භූමිවලින් ආහාර පාන ලබා දීමේදී දෙමව්පියන් දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.