පැපුවා නිව්ගිනියාව සමඟ ඉන්දියාවේ වැඩෙමින් පවතින බැඳීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැසිෆික් කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ටේලර් රගල්ස් ප්‍රසාදය පළකර තිබෙනවා.
රගල්ස් පැවසුවේ, කලාපයට ඉන්දියාවේ ප්‍රවේශය සාදරයෙන් පිළිගන්නා බවයි. ඉන්දියාව නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්ගේ සාමාජිකයෙකු නොවන නමුත් නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරනවා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දු-පැසිෆික් දූපතක් වන පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වූ අතර ඉන්දියා-පැසිෆික් දූපත් සහයෝගීතාව සඳහා වූ සංසදයේ තුන්වන සමුළුවේ සම මුලසුන ද දැරුවා.එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ එක්සත් රාජධානිය යන රටවල් 2022 ජූනි මාසයේදී, කලාපයේ කුඩා දූපත් ජාතීන් සමඟ ඵලදායි සහ සහයෝගීතාවයක් සඳහා නිල් පැසිෆික් මූලාරම්භය දියත් කළේ පැසිෆික් සාගර කලාපයේ චීනයේ ආක්‍රමණශීලී තල්ලුවට ප්‍රතිචාර වශයෙන්.පැසිෆික් ප්‍රාන්ත 10ක් සමඟ පුළුල්, පොදු සහයෝගීතා ගිවිසුමක් සඳහා චීනය යොමුවීමෙන් පසුව, එහි ප්‍රසාරණය වන බලපෑමේ සැලසුම්ගත ප්‍රමාණය පැහැදිලි වීමත් සමඟ කලාපයේ භූ මූලෝපායික තරඟකාරිත්වය ඉහළ ගියා.ඔස්ට්‍රේලියාව සහ ජපානය සමඟ ඉන්දියාව සමීප සමාජ හවුල්කරුවෙකු ලෙස හඳුන්වමින් රගල්ස් පැවසුවේ ඔවුන් කලාපය තුළ ඉතා ක්‍රියාශීලීව එක්ව කටයුතු කරන බවයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය සඳහා පැපුවා නිව්ගිනියාවට ළඟා වූ අවස්ථාවේ එරට අගමැති ජේම්ස් මාරපේ මෝදිගේ දෙපා ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත්තා. මෙය අග්‍රාමාත්‍ය මෝදිගේ පැපුවා නිව්ගිනියාහි පළමු සංචාරය මෙන්ම, ඉන්දු-පැසිෆික් රටකට ඕනෑම ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකුගේ පළමු සංචාරය ද වුණා.
ඉන්දියා-පැසිෆික් දූපත් සහයෝගීතාව සඳහා වූ සංසදයේ තුන්වන සමුළුව අමතමින්, පැසිෆික් දූපත් රටවල් සමඟ ඉන්දියාවේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා පියවර 12ක වැඩසටහනක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක බග්ජි නිවේදනය කළා. කලාපය සඳහා ෆීජි හි ඇඳන් 100 කින් යුත් නව සුපිරි විශේෂිත රෝහලක් විවෘත කිරීම සහ පැපුවා නිව්ගිනියාවේ කලාපීය තොරතුරු තාක්ෂණ සහ සයිබර් ආරක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම ඊට ඇතුළත්. ඉදිරි වසර 5 සඳහා පැසිෆික් දූපත් කලාපයට සාගර් අමෘත් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 1000ක් පිරිනැමීමටද නියමිතයි.
ඊට අමතරව රජයේ ගොඩනැගිලි සඳහා සූර්ය බල ව්‍යාපෘති, පානීය ජලය සඳහා ලවණ ඉවත් කිරීමේ ඒකක සැපයීම, මුහුදු ගිලන්රථ සැපයීම, ඩයලිසිස් ඒකක පිහිටුවීම, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි උපකාරක දුරකථන පිහිටුවීම, ජන ඖෂධ කේන්ද්‍ර පිහිටුවීම, යෝග මධ්‍යස්ථාන පිහිටුවීම වැනි වැඩසටහන්ද මෙ යටතේ ක්‍රියාත්මක වන බව බග්ජි වැඩිදුරටත් සදහන් කළා.
නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්ගේ අරමුණ වන්නේ පැසිෆික් දූපත්වලට සහාය වීම සහ කලාපීය දේශපාලන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමයි. ඔවුන්ගේ “සෞභාග්‍යය, ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව” වැඩිදියුණු කිරීම යන තේමාවේ සරල අදහස් වන්නේ චීනයේ ආක්‍රමණශීලී ව්‍යාප්තිය අවහිර කිරීම සඳහා මෙම ජාතීන් සාමූහිකව සහ තනි තනිව සම්පත් දායක වනු ඇති බවයි.




