දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල, මහබෙල්ලන, කොස්කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනිතබා හානිකර ඇති බව වාර්තා වනවා.
එහිදී ගිනි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් අදාළ නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයා ද ගින්නට විසිකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
නිවසට ගිනි තිබූ බව කියන පිය පුත් දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් දෙදෙනා වෘත්තියෙන ත්‍රිරෝද රථ රියදුරන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා අතරින් පුත්‍රයා මෙම නිවසේ තරුණිය සමඟ විවාහව සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මේ වනවිට ඔවුන් දෙදෙනාගේ දික්කසාද නඩුවක් ද අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.
සැකකාර පිය පුතු දෙපළ පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් ඊයේ (20) පොලිසියට පැමිණිල්ලක් සිදුකර අධිකරණ වෛද්‍ය පෝරමයක් ද රැගෙන රෝහල් ගතවන බවට පවසා පිටව ගොස් අදාළ නිවසට ගිනිතබා ඇති බවට කරුණු හෙළිව තිබෙනවා.
අනතුරුව ඔවුන් දෙදෙනා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




