2025 IPL පිටියේ වේගවත්ම වේගවත්ම අර්ධ ශතකය රොමාරියෝගේ පිත්තෙන් (වීඩියෝ)

මෙවර අයි.පී.එල් තරගාවලියේ පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නට රෝයල් චැලෙන්ජස් බැංගලෝරු කණ්ඩායමේ රොමාරියෝ ෂෙපර්ඩ්ට හැකියාව ලැබුණා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ ඊයේ (03) පැවති තරගයේ දී රොමාරියෝ ෂෙපර්ඩ් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 14ක් පමණක් වැයකරමින්.

මිනිත්තු 16ක් පිටියේ රැඳී සිටිමින් පන්දු 14කට මුහුණ දුන් රොමාරියෝ ලකුණු 53ක් නොදැවී රැස් කිරීමට සමත්වූ අතර, ඔහුගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වුණා.

රොමාරියෝ විසින් කලීල් අහමඩ් යැවූ බැංගලෝරු ඉනිමේ 19 පන්දුවාරයට ලකුණු 33ක් උදුරාගත් අතර, මතිෂ පතිරණ විසින් යැවූ 20 වන පන්දුවාර තුළ ලකුණු 21ක් රැස් කළා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම අර්ධ ශතකය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 14 හැවිරිදි ක්‍රීඩක වෛභව් සූර්යවංශි රැස්කරගෙන තිබුණේ පන්දු 17කට මුහුණ දෙමින්.

මේ අතර රෝයල් චැලෙන්ජස් බැංගලෝරු කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු දෙකකින් පරාජයවීමත් සමඟ චෙන්නායි කණ්ඩායමේ නායක එම්.එස්. දෝනිගේ නායකත්වය පිළිබඳව රසිකයෙක් චෝදනා එල්ලකර සිටින බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තාකර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්