හොර පාරෙන් ගෙනා භාණ්ඩ නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව, කල්පිටිය, සින්නඅරිච්චා‍ලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ (18) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්.

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193ක් සහ තවත් භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

මිලිලීටර් 6 ෂැම්පු පැකට් 33600 ක්, ග්‍රෑම් 50 බාම් ඇසුරුම් 198ක්, වායු සමීකරණ යන්ත්‍රයක්, Voltage Stabilizer 230 V යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු නීති විරෝධී ලෙස රැගෙන එන ලද භාණ්ඩ තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.