හෙරොයින් සමඟ විදේශිකයන් 8ක් නාවික හමුදා භාරයට

ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 18කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සමඟ විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයුර නෞකාව මඟින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 573ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී යි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එම යාත්‍රාව සහ සැකකරුවන් ඊයේ උදෑසන කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.

ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙහෙයුම සිදු කර තිබෙනවා.

සිදු කරන ලද සෝදිසි මෙහෙයුමේ දී යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කළ බවයි නාවික හමුදාව කියාසිටියේ.

එහිදී, යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 926 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, එහි තිබූ අනෙකුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා නෞකාව නිරීක්‍ෂණය වීමෙන් පසු සැකකරුවන් විසින් මුහුදට දමා ඇති අතර එහි සිටි විදේශීය සැකකරුවන් 8දෙනා නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 18.5ක් පමණ වන බවටයි සැලකෙන්නේ.

නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 17 ත් 42 අත‍ර වයසේ පසුවන, ඉරාන සහ පකිස්ථාන ජාතිකයන් බවට හඳුනා ගෙන තිබෙනවා.

එම සැකකරුවන්, විදෙස් බහුදින යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.