හිතා මතා ජීවිතයක් බිළිගත් බලංගොඩ රියදුරා සැඟව සිටිය දී අත්අඩංගුවට

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් හිතා මතා අනතුරට ලක්කර පළාගිය ලොරි රථ රියදුරා පොලිසිය විසින් සැඟව සිටිය දී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පළමු වනදා බලංගොඩ නගරයේ දී යතුරුපැදියක් අනතුරට ලක්කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළා යමින් සිටිය දී දැරියගේ 32 හැවිරිදි පියා ද විදුලි කණුවක හප්පා මෙම ලොරි රථ රියදුරු පළාගොස් තිබුණා.

එහිදී අනතුරට ලක් වූ 32 හැවිරිදි පියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ලොරි රථ රියදුරා විසින් දැරියව අනතුරට ලක්කර පළා යමින් සිටිය දී දැරියගේ පියා යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන අසළ ඇති දොරට නැඟ එහි රියදුරුව බස්සවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරු විසින් පියාව අසල තිබූ විදුලි කණුවක ගැටීමට සලස්වා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අසල තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිසිය විසින් අදාළ ලොරි රථය සහ එහි රියදුරු හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (03) බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුව ඉදිරිපත් කිරීමට නියමිතයි.