බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකුට මෝටර් රත්යලින් පැමිණි
පිරිසක් විසින් ඊයේ (27) සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන තිදෙනා ඊයේ (27) පස්වරුවේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 170ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
බද්දේගම පොලිස් වසමේ පෙඩෘවත්තට හැරෙන හන්දිය හා හල්පාතොට ප්‍රදේශවලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 22 හා 33 වයස්වල පසුවන කහවත්ත, පල්ලේබැද්ද සහ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (27) උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන සුසිතා ඉරෝෂනී හෙවත් ‘කළු නෝනි’ නැමැති 47 හැවිරිදි කාන්තාවක් සහ ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ කළු නෝනි නැමැත්තියගේ මව මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.













