හරක් කටාට එරෙහි නඩුවක් කැඳවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටිය දී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී හරක් කටා සහ මෙම පලායාමේ සිද්ධිය සදහා යොදා ගැනීමට නියමිත ව සිටි රියැදුරු වූ දිනේෂ් තරංග යන විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ කරනු ලැබූ ඉල්ලීම පරිදි මෙම නඩුවේ පළමුවන විත්තිකරු වූ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාට මෙට්ටයක් සපයාදීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් කළා.

එසේම විත්තිකරුට ඥාතීන් හා නීතිඥවරු හමුවීමට අවස්ථාව සලසා දී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපරිම පියවර ගෙන තිබෙන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 20ක් පමණ පවතින බව පැවසුවා.

එම නිසා බාධාවකින් තොරව ඔහුට නීතිඥවරු හමු වී උපදෙස් ලබාදීමට අවස්ථාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

සිය සේවා දායකයා තම ඥාතීන් හමු වී කතාබහ කරන අවස්ථාවේ දී ඒවා පටිගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එවැනි අවස්ථාවල පොලිස් නිලධාරින් ඒ ආසන්නයේම රැඳී සිටීම නිසා ඔවුන්ට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් පැවසුවා.

එම අවස්ථාවේදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට යෝජනා කළේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් රැඳී සිටීම අවශ්‍ය වුවද මෙවැනි හමුවීම් සිදුවන අවස්ථාවේ දී ආරක්ෂිත කැමරා ඔස්සේ එම කාර්යය නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව තිබෙන බවයි.

එවැනි හමුවීම් හඬ රහිතව වීඩියෝ ගතකර අවශ්‍ය නම් නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලා මීළඟ දින අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම තම සේවා දායකයා රඳවා සිටින ස්ථානය අධික තාපයකින් යුක්ත වාතාශ්‍රය අවම ස්ථානයක බවත් එම නිසා ඔහුට විදුලි පංකාවක් සපයාදීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයාවරයා ඉල්ලීම් කළා.

එසේම තම සේවා දායකයා රැඳවුම් භාරයේ සිටින අවස්ථාවේ දී කියවීම සඳහා පුවත්පත් හෝ පොත්පත් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීම් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන්නැයි විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් දැනුම් දුන්නා.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට පැවැත්වෙන වෙනත් විමර්ශනයකට අදාළව විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හරක් කටා ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බව පැවසුවා.

ඒ, අනුව ඔහු රඳවා සිටින ස්ථානයේ දී එම ප්‍රකාශය ලබාගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ විරුද්ධත්වයක් නොමැති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය අවසරය ලබාදෙන බවයි.

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩු විභාගය අවසන් වීමෙන් පසුව තම සේවාදායකයා හමු වී අධිකරණ ශාලාව තුළ උපදෙස් ළගා වෙනුවට අවසර දෙන්න ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත නඩු විභාගය අවසන් වූ විගසම ඔවුන් අධිකරණයෙන් රැගෙන යාම අත්‍යවශ්‍ය බව පැවසුවා.

අවි දරා ගත් ආරක්ෂක නිලධාරීන් විශාල වශයෙන් අධිකරණ භූමිය තුළ රැඳී සිටීම එතරම් යහපත් නොවන බව තම මතය යැයි සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර ක්‍රියා පටිපාටිය අනුව ඉල්ලීම් ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා.

ඉන් මෙම නඩුවේ අධිකරණය මඟ හැර සිටින රවිදු සංදීප නමැති විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ සාක්ෂි මෙහෙයවීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටි රජයේ නීතිඥවරයා ඊට අදාළ සාක්ෂි ලැයිස්තුවක්ද අධිකරණයට ඉදිරිපත් කළා.

එම සාක්ෂි ලැයිස්තුව පරීක්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා එම සාක්ෂිකරුවන්ට සාක්ෂිදීම සඳහා මැයි මස 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14