හබරකඩ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ හබරකඩ කසුන්ගේ මස්සිනා බව හෙළිවෙයි

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ, සීලාලංකාර මාවතේ ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘හබරකඩ කසුන්’ නැමැත්තාගේ මස්සිනා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

හෝටල් හිමිකරුවෙක් බව කියන 26 හැවිරිදි එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලී’ නැමැති පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පල කරනවා.

පසුගිය දා දෙහිවල සිදුවූ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන්ට සැඟව සිටීමට මෙම වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා උපකාරකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.