spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවය අතහැර ගිය වෛද්‍යවරුන් සහ ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙසක්

සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් අය විය යුතු මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභව මගින් පත්කළ අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

මෙම වාර්තාව සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙසටයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන්ගේ නම් අසාදු ලේඛන ගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණා.

මේ පිළිබඳ සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩගේ සභාපතිත්වයෙන්,රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ විගණන ඡේද පිළිබඳ පරික්ෂා කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අනු කාරක සභාව හමුවට කැඳවා තිබුණා. එහිදී විගණනය විසින් සේවය අත හැර ගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් අය කර ගත යුතුව තිබෙන මුදල් අය කරගැනීමේ ක්‍රියාවලිය සතුටු දායක නොවන මට්ටමකින් ක්‍රියාත්මක වන බවයි පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව වෛද්‍යවරුන් විදේශ ගතවීමේදී ගනු ලබන ක්‍රියාමාර්ග හා ඔවුන් නැවත මෙරට සේවයට වාර්තා නොකිරීමේදී ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් වැඩි වගකීමකින් අදාළ නිලධාරීන් ක්‍රියා කළයුතු බව සභාපතිවරයා අවධාරණය කළා.

විගණනය විසින් පෙන්වා දී ඇති කරුණු අනුව තමන් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දැඩි කර ඇති බවයි මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ. ඒ අනුව වෛද්‍යවරයෙක් නැවත සේවයට වාර්තා නොකොට සේවය අත හැර ගොස් සිටින අවස්ථාවල එම වෛද්‍යවරුන් ගිවිසුම් ගතවන විට අත්සන් කරනු ලබන ඇපකර මුදල පමණක් මූලිකවම අයකර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළා. කෙසේ එය ප්‍රමාණවත් නොවන බව පිළිගත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ගිවිසුම කඩකිරීම ‍වෙනුවෙන් එම වෛද්‍යවරුන්ගෙන් අය කළ යුතු දඩ මුදල් අය කර ගැනීම සක්‍රියව සිදු නොවූ බවත් වර්තමානය වන විට එම දඩ මුදල් අයකර ගැනීමට ද අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් පමණක් නොව මෙලෙස රාජ්‍ය නීති පද්ධතියට අවනත නොවී කටයුතු කරනු ලබන අනෙකුත් රාජ්‍ය සේවකයින්ට ද අදාළ වන අයුරින්, සමස්ත රාජ්‍ය සේවයටම පොදු ක්‍රමවේදයක් අවශ්‍ය බවයි තවදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කෝපා අනු කාරක සභාව හමුවේ කරුණු දැක්වූවේ.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස අනුයුක්ත කළ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් වෙත ස්ථිර පත්වීම් ලබා දෙන බැවින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් අමාත්‍යාංශය විසින් පළාත් සභා වෙත ප්‍රතිපූරණය කර තිබුණු දීමනා ආපසු අය කර නොගැනීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විගණන නිලධාරීන් ප්‍රශ්න කළා. සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුහුණු කාලය අවසාන වීමත් සමග වෛද්‍යවරු ලෙස රෝහල් වෙත පත්කිරීමට හැකි නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවයි එහිදී සභාපතිවරයා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ. ඒ අනුව සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුහුණු කාලය අවසාන වීමත් සමග ඔවුනට අදාළ පත්වීම් ලබාදීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසට කෝපා අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී වෘත්තීය සමිති බලපෑම් එල්ල කරන බව පෙන්වා දී තිබෙනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරීන් නවක වෛද්‍යවරුන්ට ලබාදෙන පත්වීම් වලින් 80%ක් ලබා දෙනුයේ දුෂ්කර ප්‍රදේශවල පවතින පර්යන්ත රෝහල් සඳහා බවත් නගර බද ප්‍රධාන රෝහල් සඳහා පත්වීම්වලින් ඉතිරි 20% ලබා දෙන බව පෙන්වා දෙනු ලැබුවා. එහිදී ඔවුන කියාසිටියේ වෘත්තීය සමිති සඳහා මෙලෙස නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී මැදිහත් වීමක් සිදුකිරීමට බලයක් නොමැති බවයි.

මේ අතර විගණන නිලධාරීන් විසින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කරන නිලධාරිනිය 2019 වසරේ සිංගප්පුරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගනු ලැබූව ද ඉන් මාස 8ක් ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අදාළ විදේශ පුහුණු දීමනා ලබාගෙන තිබීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිර්දේශයක් ලබා ගැනීමකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දී තිබුණු නිර්දේශයක් මත එම නිලධාරිනියට එල්ල කළ සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බවයි විගණන නිලධාරීහු පෙන්වා දුන්නේ. ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ විමර්ශන වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසට සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

තව ද අමාත්‍යාංශය යටතේ ඇති හෙද පුහුණු පාසැල්වලට පුහුණව සඳහා බඳවාගෙන තිබුණු හෙද සිසුන් පුහුණුව අත හැර යාම ඔස්සේ අය කර ගත යුතු මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. 1999 වසරේ සිට 2017 වසර දක්වා දත්ත ඉදිරිපත් කරමින් විගණන නිලධාරීන් ඒ කාලසීමාව තුළ පුහුණුව හැර ගිය පිරිස පිළිබඳව නිවැරදි තොරතරු අමාත්‍යාංශය සතුව නොමැති බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව වර්තමානය වන විට එලෙස පුහුණුව අත හැර දමා ගොස් සිටින පිරිස හා අය විය යුතු මුදල් හා අය කරගෙන තිබෙන මුදල් සම්බන්ධ වාර්තාවක් මසක් තුළ අනු කාරක සභාවට ලබාදෙන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?