සුරේෂ් සලේ තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පාස්කු ප්‍රහාරයට සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) අනුමැතිය පළ කර තිබෙනවා.

2026 අගෝස්තු 25 වන දිනැති MOD/LEG/PTA/25/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව ජාතීන් හා ආගම් අතර සහජීවනය බිඳදැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම යන චෝදනා සුරේෂ් සලේට එරෙහිව එල්ලකර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 25 වන දා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ දැනටමත් දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින අතර, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ 3 වන සැකකරු ලෙස නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම රැඳවුම් නියෝගය මුළුමනින්ම අසාධාරණ බවත්, රැඳවුම් නියෝග ඉවත් කරන ලෙසත් ඉල්ලමින් පවසමින් සුරේෂ් සලේගේ මව විසින් ඊයේ (24 දා) ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරනු ලැබුවා.

ඉකුත් මැයි 18 වැනිදා සුරේෂ් සලේගේ බිරිඳ ද එවැනිම ඉල්ලිමක් සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කළා.