සිරුර පැහැපත් කිරීමට බොන කිරිපිටි තොගයක් මෙරටට ගෙනා දෙදෙනකු අල්ලයි

රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ , කොටහේන ප්‍රදේශයේ අයෙක්.

සැකකරුවන් අද උදෑසන 09.17 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව මෙම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් තිබුණු බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.