සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ජනපතිගෙන් ආරාධනයක්

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමින්.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර රාජකීයයන් සෑම විටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවයි කියා සිටියේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපත ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. මෙය ගඩොල් සහ බදාම වලින් පමණක් නිර්මාණය කළ ගොඩනැගිල්ලක් නොවෙයි. මෙය රටේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගිය සංකේතයක්.

අපේ රටේ මුල් අවධියේ දේශපාලනඥයන් වූ සී.ඒ. ලෝරන්ස්, රිචඩ් මෝගන්, මුතුකුමාරස්වාමි සහ ජේම්ස් ද අල්විස් යන සිවුදෙනාම රාජකීය විද්‍යාලයෙන් බිහි වූ අය. එපමණක් නෙවෙයි, ආනන්ද කුමාරස්වාමි, අනගාරික ධර්මපාල වගේ අය පවා මෙම විද්‍යාලයෙන් බිහි වුණා. ඒ වගේම සී. ඒ. ලෝරන්ස්, පී. අරුණාචලම් වැනි විශාල පිරිසක් මේ අතර සිටිනවා. මේ සියලුදෙනා දේශපාලන චරිත. ඉන් අනතුරුව පී. රාමනාදන් සහ ජේම්ස් පීරිස් වැනි චරිත මේ පාසලින් බිහි වුණා.

නමුත් අපි මතක තබාගත යුතුයි මේ සියලුදෙනා ශාන්ත සෙබස්තියන් පාසලෙන් බිහිවුණු අය. සර් ජෝන් කොතලාවල මැතිතුමා ශාන්ත සෙබස්තියන් පාසලෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කර පසුව මෙම ගොඩනැඟිල්ලේ කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම දක්වා එහි අධ්‍යාපනය ලැබුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කිව්වා මෙහි විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු අධ්‍යාපන කටයුතුවල නිරත වුණා කියලා. එසේනම් අප සියලුදෙනා බිහි වුණේ මෙම ස්ථානයෙන්. මේ සියලුදෙනාම විවිධ ක්ෂේත්‍රවල මහඟු සේවයක් ඉටු කරපු සහ ඉටුකරන අයයි.

රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කළා. මෙහිදී මාෂ් පූජකතුමා සිහිපත් කළයුතුයි. ඒ වගේම මෙහි කටයුතු කළ සෑම විදුහල්පතිවරයෙක්ම සහ ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලය ඉදිරියට ගෙන ඒමට කැප වුණා. ඒ අතර සිටි ඇතැම් අය අද මෙම ස්ථානයේ සිටිනවා. විශේෂයෙන්ම අගමැතිතුමා සහ මම මෙහිදී ඩඩ්ලි සිල්වා මහතා සහ බෝගොඩ ප්‍රේමලාල් මහතාව විශේෂයෙන් සිහිපත් කළයුතුයි.

ඩඩ්ලි සිල්වා මහත්මයා හොඳ විදුහල්පතිවරයෙක්. ඒත් ඔහුට දුර්වල තැන් තිබුණා. එක වතාවක් ඔහු මට ගායනය ඉගැන්වීමට උත්සාහ කළා. නමුත් ඔහු අසාර්ථක වුනා. බොගෝඩ ප්‍රේමලාල් මහත්මයා බියගම ප්‍රදේශයෙන් පැවත එන පවුලකට අයත් කෙනෙක්. එතුමාගේ ඇසුර පසුකාලීනව මගේ දේශපාලන ජීවිතයේ සාර්ථකත්වයට හේතු වුණා. රාජකීය විද්‍යාලය කියන්නේ මේ රටට වැඩදායි පුද්ගලයන් ගොඩනැගු තැනක්. මෙම පාසල තුළ පුද්ගලයන් ගොඩනැඟෙන්නේ චරිතත් සමගයි.

පළමු ලෝක යුද්ධයේ සිට පැවති යුද්ධ වලදී මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් මෙහි තිබෙනවා. රාජකීයයන් 380 දෙනෙකුගේ පමණ නම් එහි සඳහන් වෙනවා. ඒ අතරින් නම් දෙකක් මට සිහිපත් වෙනවා. ඒ මේජර් ජෙනරාල් ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් ජයතිලක යන අය. ඔවුන් සිටියේ අලිමංකඩ. ඒ මෙහොතේ අලිමංකඩ වටකරලා තිබුණා. ඔවුන්ට අයින් වෙන්න කියලා කිව්වා. එහෙත් ඔවුන් අනිත් අය යනකම් බලාගෙන සිට පිටුපසින් පැමිණියා. ඔවුන් පැනලා ගියේ නැහැ. ඔවුන් දෙදෙනාම වෙඩි වැදී මරණයට පත් වුණා. ඔවුන් රාජකාරිය නිසි ලෙසම ඉටු කළා. එය රාජකීයන්ගේ ලක්ෂණයක්.

අපි කවදාවත් පැනලා ගියේ නැහැ. ඒ නිසා තමයි අගමැතිතුමයි මමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. අපි දෙදෙනාම එකම පාසලේ. එකම පංතියේ. අපි දෙන්නටම ගෙයක් නැහැ. මට තිබෙන්නේ තාවකාලික නිවසක් පමණයි. අප අතීතය පිළිබඳ සිතමින් සිටිය යුතු නැහැ. අනාගතය ගැන සිතිය යුතුයි.

අපි කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ. ලෝකය වෙනස්වෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අධ්‍යාපනය‍ රැඩිකල් ලෙස වෙනස් විය යුතු ආකාරය පිළිබඳ අපි සැලසුම් සකස් කරනවා.

අද කඳුකරයේ පාසලකට ගොස් බැලුවහොත් එම එක පාසලක සිටින්නේ සිසුන් 80ක් පමණයි. නමුත් ඔබේ පාසලේ සිසුන් 8000ක් සිටිනවා. සිසුන් 5000ට වඩා සිටින පාසල් කීයද තිබෙන්නේ. පාසල් 20-30ක් පමණයි. එසේනම් පාසල් කළමනාකරණයට අදාල නව ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.

නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අලුත් විශ්වවිද්‍යාල ඇති කර විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉහළ නැංවීමට අප අපේක්ෂා කරනවා.

අද මේ රටේ හොඳ පාසල් 50-100 ක පමණ ප්‍රමාණයක් අතර තරගයක් තිබෙනවා. එය යහපත් තත්ත්වයක්. මේ පාසල් 100න්ම බිහි වන්නේ එංගලන්තයේ හොඳම පාසල් වලින් බිහිවෙන සිසුන්ට සමාන දැනුමක් තිබෙන සිසු පිරිසක්.මොකද අපේ රටේ උසස්පෙළ විභාගය ලන්ඩන් උසස් පෙළ විභාගයට වැඩිය අමාරුයි.

අප අනාගතය දෙස අවධානය යොමු කළයුතුයි. නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමඟ ඉදිරියට යා යුතුයි. ඒ වගේම අප නව ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යා යුතුයි. අපිට තවදුරටත් පැරණ ක්‍රමය අනුව ඉදිරියට යන්න බෑ.ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, දේශපාලනය වේවා මේ සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍යයි.

එසේනම් අලුත් ආර්ථිකයක්, අලුත් රටක් සහ අලුත් දේශපාලන ක්‍රමයක් සමග අප ඉදිරියට යා යුතුයි. අපි සියලුදෙනා එකතුව ඒ අලුත් රට හදමු. පාර්ලිමේන්තුවේ අප සියලුදෙනා එකට එකතුවෙලා මේ වෙනුවෙන් වැඩකරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලන වෙනස්කම් එලෙසම තබා ගනිමු. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ රට ගොඩනඟමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24