පසුගිය 15 වැනිදා දඹුල්ල, ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක් නැරඹීම සඳහා පැමිණ සිටි හිමි නමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, හබරණ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙක්ව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුව ඇප මත මුදාහැර තිබෙනවා.
එම අවස්ථාව වන විට අදාළ පොලිස් නිලධාරියා රාජකාරියෙන් බැහැරව සිට ඇති බවත්, ඔහු බීමතින් මෙම පහර දීම සිදු කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
අදාළ සැකකාර පොලිස් නිලධාරියා එම හිමිනම දැක, ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල සිටිය යුතු බවත් උත්සව භූමිවල සැරි සැරීම නොකළ යුතු බවත් පවසා පහරදී ඇති බවට අදාළ හිමිනම විසින් දඹුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සිදු කළ විමර්ශනයකින් පසු හබරණ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.













