spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් මිල ඉහළ නංවන්න උපක්‍රමයක්

රට තුළ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් හිමිකරුවන් විසින් කෘත්‍රිමව නිර්මාණය කිරීමට උත්සාහ දරණ සහල් හිඟය මෙම උත්සව සමයේ සහල් මිල ඉහළ නැංවීම සඳහා යොදන ලද උපක්‍රමයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන සඳහා පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැහැ.

මේ හේතුවෙන් පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මෙම පනත සංශෝධනය සඳහා ලබන මස තුළ පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා සහල් ආනයනය සඳහා එකඟවී ඇති බවට පසුගියදා රෝෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා මිහින්තලේ නායක හිමියන් හමුවූ අවස්ථාවේ කළ ප්‍රකාශය පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කරුණු දැක්වූවා.

දැනට රටේ කීරි සම්බා සහල් හිඟයක් පවතින අතර මෙම සහල් හිඟය ද මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් හා කුඩා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම උත්සව සමයේ කීරි සම්බා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඊට විකල්ප සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට යෝජනා වුවද කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 දක්වා අඩු කිරීමට යෝජනා කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම 2022 වර්ෂයේ පැවැති සහල් හිඟය නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කර ඇති නමුත් 2023 වර්ෂයේ ජනවාරි මස සිට මෙම දෙසැම්බර් මස දෙවන සතිය දක්වා මෙතෙක් සහල් ඇටයක් හෝ පිටරටින් ආනයනය නොකළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

“අපි මේ වසර පුරාම අපේ රටේ ජනතාව අනුභව කරන්නේ අපේ රටේ සහල්. අපේ ගොවි ජනතාව සහල් ආනයනය සඳහා වැය කරන ඩොලර් මිලියන 300කට අධික මුදලක් මේ වසර තුළ රජයට ඉතිරි කර දී තිබෙනවා. ඒ නිසා රටේ ජනතාව අපේ ගොවි ජනතාවට කෘතඥ විය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?