සරසවි සිසුවාගේ අභිරහස් මරණය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසුවා ගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී (21) පස්වරුවේ සොයා ගනු ලැබිණි.පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දෙමව්පියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන් ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු පොලිසිය සිසුවා සෙවීම ට කණ්ඩායම් යොදා තිබිණි.

අදාළ නවාතැන් පොළේ මෙම සිසුවා තනිව නවාතැන් ගෙන සිට තිබෙන බවත් ඔහු අවස්ථා කිහිපයක දී මනෝ උපදේශකවරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.

අංජන සමාජ මාධ්‍යය ඔස්සේ මනෝ විද්‍යාව සම්බන්ධ වීඩියෝ පට කිහිපයක් ද නිකුත් කොට තිබෙන අතර, ඔහු හදාරා ඇත්තේ මනෝ විද්‍යාවට අදාළ විෂයන් වේ.