Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සමූපකාර සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ‘CoopFish’ ටින් මාළු නිෂ්පාදන 28ක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

දේශීය ධීවර කර්මාන්තය, නිෂ්පාදන අංශය සහ සමූපකාර ව්‍යාපාරය එකට එක් කරමින් ජාතික ආර්ථිකයට නව වටිනාකමක් එක් කිරීමේ ඓතිහාසික පියවරක් ලෙස සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) සහ ‘රිච්වින්’ (Richwin) සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව නිෂ්පාදනය කරනු ලබන “CoopFish” නව ටින් මාළු නිෂ්පාදන 28ක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීම ඊයේ (15) පස්වරුවේ සීදූව Hotel Royal Ramesses පරිශ්‍රයේදී සිදුවුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ සහභාගීත්වයෙන් මෙම නිල උත්සවය පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ පසුගිය කාලය තුළ අභාවයට යාමට ඉඩ හැර තිබූ සමූපකාර ව්‍යාපාරය, වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් ලෙස යළි ගොඩනඟමින් සිටින බවයි. පෞද්ගලික අංශය සමඟ තරඟකාරී මිලකට පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ සැපයීම වෙනුවෙන් 2029 වසර වන විට දිවයින පුරා සමූපකාර අලෙවිසැල් 10,000ක් සහ නවීන ‘මෙගා කෝප් සිටි’ (Mega Coop City) 25ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනටමත් ආනයන සීමා පනවා ඇති අතර, වසරකට ටින් මාළු අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 20ක විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යාත්‍රා මිලදී ගැනීමට 5%ක සහන පොලියක් යටතේ එක් යාත්‍රාවකට රුපියල් මිලියන 500ක් දක්වා ණය පහසුකම් ලබා දීමටත්, ධීවර කර්මාන්තය අපනයනාභිමුඛ කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රුපියල් බිලියන 15ක ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ (COOPFED) සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙරට සමූපකාර සමිති 305ක් හරහා විහිදුණු අලෙවිසැල් 4,000කට ආසන්න ජාලය සහ මිලියන 8.2ක් වන සමූපකාර සාමාජික පදනම ඔස්සේ ‘CoopFish’ නිෂ්පාදන දිවයිනේ සෑම ගම්මානයකටම සාධාරණ මිලකට ගෙන යාමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොකර, ජාත්‍යන්තර වෙළෙඳපොළට ද අපනයනය කිරීම සිය අපේක්ෂාව බව ඔහු ප්‍රකාශ කළා. වසර 15ක් පුරා අඛණ්ඩව පාඩු ලබමින් ඈවර කිරීමට තිබූ COOPFED ආයතනය සිව් මසක් වැනි කෙටි කාලයක් තුළ ලාභදායී තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආචාර්ය ශාන්ත ජයරත්න වෙත එම සංගමයේ සේවක මණ්ඩලය විසින් මෙහිදී විශේෂ උත්තමාචාර තිළිණයක් ද පිරිනැමුවා.

රිච්වින් (Richwin) සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විකුම් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ තම සමාගම සතු මදුරන්කුලිය සහ ගාල්ල කර්මාන්තශාලා හරහා දිනකට ටින් මාළු 350,000ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් පවතින බවත්, FSSC සහ ISO වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම නිෂ්පාදන සිදු කෙරෙන බවත්ය. මෙම ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාරිත්වය හරහා ඉදිරි වසර දෙක තුළ රුපියල් බිලියන 25ක වාර්ෂික අලෙවි ඉලක්කයක් කරා ළඟා වීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා. තවද ගැඹුරු මුහුදේදීම මසුන් එකතු කිරීමේ යාත්‍රා 50ක නව ව්‍යාපෘතියක් හරහා ඉදිරි වසර තුන තුළ මෙරට ටින් මාළු කර්මාන්තය 100%ක්ම දේශීය මත්ස්‍ය සම්පත මත පදනම් වූ කර්මාන්තයක් බවට පත් කර, නව රැකියා 6,000ක් බිහි කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස, සමූපකාර සංවර්ධන කොමසාරිස් තරණි කුමාරදාස, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, රිච්වින් සමූහ ව්‍යාපාරයේ සභාපති පැතුම් ප්‍රනාන්දු යන ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ සමූපකාර සමිති නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වුණා.