සමුලුවක් අමතන්න ශ්‍රී ලංකා ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුමක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ ලබන 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී යි පැවැත් වෙන්නේ.

ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිනවා. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් සිදුකර ඇත්තේ.

බහුපාර්ශ්වික මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර, ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම සමුළුවේ තවත් අරමුණක්.

නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G-20 නායකයින්ගේ 18 වන සමුළුව, නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP-28 සමුළුව ඇතුළු ඉදිරි වසරේ ජාත්‍යන්තර දින දර්ශනයේ ප්‍රධාන සාකච්ඡා සහ සමුළු සමඟ බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative) ඇතුළු විවිධ න්‍යායපත්‍ර ගණනාවක් සම්බන්ධ කිරීමට සත්කාරක රට ලෙස ප්‍රංශය ප්‍රයත්න දරනවා.

රාජ්‍ය නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සන්ධානයක් ගොඩනඟමින්, සාමූහික දැක්මක් තුළ තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීමයි මෙම සමුළුවෙන් අවධාරණය කෙරෙන්නේ.

ඉදිරි පරම්පරාවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කරන අතර අතීත ජයග්‍රහණ අභිබවායමින් ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රාග්ධනය පෝෂණය කිරීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇති.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ලෝක බැංකුවේ සභාපති අජේ බංගා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන්, ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු ප්‍රධානීන් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි.

රැස්වීම් කිහිපයකට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතිය අගදී එක්සත් රාජධානිය සහ ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය යුරෝපා සංචාරයේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47