සජිත්ගේ පෙත්සමකට විරෝධතා ගොනු කරන්න කංචනට අධිකරණය කල් දෙයි

මෑතක දී සියයට 18 කින් වැඩි කරන ලද විදුලි ගාස්තු වහා අඩුකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (16) විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද (16) කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ඉතා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් විදුලි බල අමාත්‍යයවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට සති තුනක කාලයක් ලබාදුන් කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල එම පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 05 වනදා කැඳවන ලෙස නියෝග කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර සජිත් ප්‍රේමදාස කියා සිටින්නේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන බලපෑම් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව විසින් මේ මස 02 වනදා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ලිපියක් යොමු කළ බවයි.

පාර්ලිමේන්තුව ආංශික අධීක්ෂණ කමිටුව විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යවන ලද ලිපිය තුළින් වත්මන් විදුලි අර්බුදය මතුවීමට බලපෑ හේතු මනාව විස්තර කොට ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ජල විදුලි උත්පාදනය වැරදි ලෙස පුරෝකථනය කිරීම, ගල් අඟුරු සහ තාප විදුලි උත්පාදනය වැරදි ලෙස පුරෝකථනය කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බව එම ලිපියේ සඳහන් කොට ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එසේම වැරදි කළමනාකරණය, අකාර්යක්ෂම පාලනය, විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දිගු කාලීන උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අපොහොසත් වීම, විදුලි ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා අක්‍රමිකතා වත්මන් අර්බුදයට තවත් ප්‍රධාන හේතු කීපයක් වී ඇති බව එම ලිපියේ සඳහන් කර ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඉකුත් වසරේ පැවති සමස්ත විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 4510ක් වූ අතර ඉන් ගිගාවොට් පැය 3750ක් ජල විදුලිය තුළින් උත්පාදනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වී ඇතැයි පෙත්සමේ සඳහන්.

එසේම ඉකුත් වසරේ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400 කින් අඩු වී තිබෙන බවත් එහි සඳහන් වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 26 ක ලාභයක් ලැබී තිබෙන බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවීම හේතුවෙන් අමතරව තවත් රුපියල් බිලියන 26ක ලාභයක් විදුලි බල මණ්ඩලය උපයාගෙන තිබෙන බවත් අධිකරණයට ගොනු කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව විදුලි ගාස්තුව සියයට 18 කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය අයුක්ති සහගත බව පෙනීයන්නේ යැයි සඳහන් කරන විපක්ෂ නායකවරයා එම විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීමට හැකිවන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට එම මණ්ඩලය අපොහොසත් වී ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

විදුලි ගාස්තු අසාධාරණ ලෙස සියයට 18 කින් ඉහළ නැංවීම නිසා අපනයන අභිමුඛ කර්මාන්ත මත සිදුකෙරෙන ආයෝජන අඩුවීමට හේතු වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එසේම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් රැසකට රැකියා අවස්ථා අහිමි වී තිබෙන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මෙම ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් ළමා අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීම, ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ යාම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට ද මග පෑදී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඉකුත් වසරේ පළමු කාර්තු තුන තුළ විදුලි බිල් නොගෙ වූ බවට චෝදනා කරමින් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 08කගේ පමණ විදුලිය විසන්ධි කර තිබෙන බවත් ඔහු චෝදනා කර තිබෙනවා

ලංකා විදුලි බල මණ්ඩලය විසින් රුපියල් බිලියන 52 ක ලාභයක් උපයාගෙන තිබියදීත් වැඩිකළ විදුලි ගාස්තු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර විපක්ෂ නායකවරයා ශ්‍රේෂ්ඨාධිකරයෙන් අයැද සිටිනවා.

එසේම ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ සියලු ලේඛන හා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු විගණන වාර්තා අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට උපයාගෙන තිබෙන රුපියල් බිලියන 52ක ලාභය විදුලි පාරිභෝගිකයින් වෙත බෙදා දී විදුලි ගාස්තු අඩුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37