spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශානි අබේසේකරගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ තමන්ව ස්ථාන මාරු කොට ඉන් අනතුරුව වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ තීරණයට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අප්‍රේල් මස 30 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

එම පෙත්සම අද විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල පෙත්සම යළි අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට පෙර සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශානි අබේසේකර මහතාගේ නීතිඥවරුන්ට නියෝගයක් කළා.

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායකයා ලෙස ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ බව පෙත්සම්කරු පවසනවා.

ඉන්පසුව සිය වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බවත් ඔහු චෝදනා කර සිටියා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?