ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ජපාන මුදල් ඇමතිගේ පැසසුමට – ජනපතිගේ නායකත්වය ගැනත් විශාල ගෞරවයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ලබා තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ( SUZUKI Shunichi) මහතාගේ දැඩි ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බවයි සඳහන් කළේ.

මෙම ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ප්‍රදර්ශනය වූ නායකත්වය පිළිබඳව ගෞරවය පළ කළ අමාත්‍යවරයා “ඔබේ රටේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇති බව මට වැටහෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ශක්තිමත් නායකත්වය නිසා බව මම විශ්වාස කරන අතර ඔබතුමා දැක්වූ එම නායකත්වය පිළිබඳව මා තුළ විශාල ගෞරවයක් පවතිනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීයි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තරයේ සියලු රටවල් සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම එම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ පළමු සමලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කිරීම මෙහිදී ඇගයීමට ලක් කළ ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාව විසින් සිදු කරන අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ පවතින වත්මන් ධනාත්මක තත්ත්වය පිළිබඳව මෙහිදී සුබවාදී ලෙස අදහස් පළ කළ ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ නිල සහ පෞද්ගලික ණය හිමියන් සමඟ පවතින ජාත්‍යන්තර විශ්වාසය ඉහළ නැංවීමට එමඟින් හැකියාව ලැබෙන බවයි.

නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුවීම, සංචිතවල සාර්ථක වැඩිවීමක් සහ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම වැනි ජයග්‍රහණය පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අගය කරනු ලැබුවා.

එසේම පසුගිය වසරේ තුන්වන කාර්තුවේ දී පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ධනාත්මක ලක්ෂණ පිළිබඳවද සිහිපත් කළ ඒ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී ඉතා සුබවාදී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව ද සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා,

“ශ්‍රී ලංකාව විසින් සිදු කළ අනෙකුත් සියලුම ප්‍රතිසංස්කරණ පිළිබඳවද අපට දැඩි පිළිගැනීමක් තිබෙනවා. මම ඒ වෙනුවෙන් සුබ පතනවා. ශ්‍රී ලංකාව මෙම අතිශය දරුණු අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලු ශක්තින් යොදා ගනිමින් සාර්ථකව කටයුතු කරන බව එයින් පෙනී යනවා.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව මෙන්ම ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පෙන්වන ඉතා දිරිගන්වන සුබවාදී ලකුණු තිබෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති – නැඹුරු විචල්‍යයන් සම්බන්ධයෙන් ද සියලුම ධනාත්මක ලක්ෂණ දක්නට ලැබෙනවා.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සැලකීමේදී 2022 දෙවන භාගයේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ඔබ විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව දක්නට තිබෙනවා. එමඟින් අපේක්ෂිත බලපෑමක් සිදු වී තිබෙන බව සංඛ්‍යාත්මක දත්ත මඟින් පෙන්නුම් කෙරෙනවා. එයින් ඔබ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පෙන්නුම් කෙරෙනවා. එය සැබවින්ම හොඳ ආරංචියක්.

තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා කියාසිටියා.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන මෙම වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්ක බව ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ජපාන නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබුවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රතිසංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37