ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත් සේවකයන් 6000කට රැකියා අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි අතර ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා….

මීට දශක ගණනාවකට පෙර ජාතික ගුවන් සේවාවක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකන් ගුවන් සේවාව අපටම ආවේණික වූ ගුවන් සේවාවක්. එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ රුපියල් මිලියන 30 ලාභයක් ලබා ගැනීමට එය සමත් වුණා. ඒ හැරෙන්නට කිසිදු ලාභයක් උපයා ගැනීමට මෙතක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී නැහැ.

කිසි දිනෙක ගුවන් යානයක් දැක නැති, ගුවන් යානයකට පය තබාවත් නැති පුද්ගලයාගේ සිට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් තමයි මේ ගුවන් සේවය නඩත්තු වන්නේ. අපටම කියා ජාතික ගුවන් සේවාවක් තිබෙනවා කියන අභිමානයක් තිබෙනවා. නමුත් එම අභිමානයට ගෙවන මුදල සාධාරණ ද කියන ප්‍රශ්නය අද මතු වෙනවා.

අද වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ගත් ගුවන් යානා වෙනුවෙන්, දේශීය රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයකට එම හිඟ මුදල් ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වගේම මුදල් ගෙවන්නේ නොමැතිව ලබා ගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න වෙලා තිබෙනවා. මේ විදිහට ණය වෙලා ගුවන් සේවාවක් ඉදිරියට පවත්වාගෙන යන්න බැහැ.

රටේ ඇති වූ විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික ගැටලුව නිසා වෙනදා වගේ අලාභ ලබන අවස්ථාවලදී මුදල් ලබා දෙන්න රජයට හැකියාවක් නැහැ. එලෙස ලබාදීම සාධාරණත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තීරණය කළේ ඒ නිසයි. රජය යටතේ 51%ක කොටස් තබාගෙන තමයි එම ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නේ. 49%ක් වෙනත් ආයෝජකයකුට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගොඩබිම් මෙහෙයුම්වලින් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් නම් යම් ලාභයක් ලබනවා. නමුත් එය ගුවන් සේවයේ අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් නැහැ.

එනිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමට අවශ්‍ය ද කියන කාරණයත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයත් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. මෙමඟින් අපට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කරනවා.

අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව සේවක අයිතිවාසිකම් අරක්ෂා වන ආකාරයට කොන්දේසි සහිතව අදාළ ආයෝජකයාට අප එය භාර දෙනවා. පසුව ඒ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩිනමින් මෙම කටයුත්ත සිදු නොවුණහොත් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා.

කොවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම ගුවන් සේවා කඩාවැටුණා. සංචාරකයන් රටවලට පැමිණියේ නැහැ. ලෝකයේ බොහෝ රටවලට තම ගුවන් යානා ගුවන්තොටුපළ තුළ ගාල් කර තැබීමට සිදුවුණා. එවැනි තත්ත්වයක් තුළ කටාර් ගුවන් සේවයේ නියමුවන් හැත්තෑ දෙදෙනකු ඉවත් කිරීම පවා සිදුවුණා. නමුත් අපේ ගුවන් සේවකයන්ට වැටුපෙන් භාගයක් ලබා දීමට රජය කටයුතු කළා. ගුවන් නියමුවන් නිවසේ සිටියත් එම වැටුප් ලබා දුන්නා. එවැනි මානුෂීය හැඟීමකින් යුතුව තමයි රජය කටයුතු කළේ.

කොවිඩ් ව්‍යසනයෙන් පසුව රට තුළ අරගලයක් ඇති වුණා. සංචාරකයන් ලංකාවට ආවේ නැහැ. නමුත් එම සියලු අභියෝග මැඩපවත්වාගෙන නැවත ශ්‍රි ලංකන් ගුවන් සේවාව හරහා අපේ රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පුළුවන්කම ලැබුණා. ඒ අනුව දිනෙන් දින සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තා.

මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විපක්ෂය හැමදාම කළේ අසත්‍ය ප්‍රචාර ගෙන යාමයි. හරි තොරතුරු දැන ගන්න කලින් පූර්වකථන කරන්න ගිහින් විපක්ෂය අද අනාගෙන තිබෙනවා. බැංකු පද්ධතිය කඩා වැටෙනවා කිව්වා, අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ අහිමි වෙනවා කිව්වා. මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර අරන් ගියා. නමුත් ජනතාවට කිසිදු හානියක් නොවන බව මූල්‍ය කේෂ්ත්‍රයේ විද්වතුන් ප්‍රකාශ කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34