‘වේ ප්‍රෝටීන්’ බෝතල් අස්සේ සැඟවූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ (ඡායාරූප)

කායවර්ධන ක්‍රීඩකයින් ශක්ති වර්ධකයක් ලෙස භාවිත කරන ‘වේ ප්‍රෝටීන්’ අඩංගු බෝතල් තුළ අසුරා මෙරටට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (28) සොයාගනු ගනු ලැබුවා.

ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය බහාලූ ‘වේ ප්‍රෝටීන්’ බෝතල් 13 එම නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 117ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 30ක ප්‍රමාණයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය බහා ලූ බෝතල් කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබූ බවයි අනවරණය වී ඇත්තේ.

මෙම පාර්සල් මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත ලැබී තිබූ අතර, ඒවා භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබුණා.

මෙම “වේ ප්‍රෝටීන’ බෝතල්වල සදහන් බරට වඩා වැඩි බරක් පැවතීම හේතුවෙන් ඒවා විවෘතකර පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.