විසිහතර කෝටි තිස්ලක්ෂයක කොකේන් මෙරටට ගෙනා බ්‍රසීල ගුරුවරයා අත්අඩංගුවට

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් බවයි.

මෙම කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙ , ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා, පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ, දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ගුවන් මගියා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.