විශේෂ කාර්ය බලකායේ වැටලීමකින් තලවතුගොඩදී කෝටි ගණනක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තලවතුගොඩදී කළ දැවැන්ත වැටලීමකින් කෝටි ගණනක අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත තලංගම පොලිස් වසමට අයත් තලවතුගොඩ, 07 වන පටුමග ප්‍රදේශයේ පිහිටි නිවසක ඊයේ (2026.11.06) සිදුකළ හදිසි වැටලීමකදී, මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී අයිස් (ICE) මත්ද්‍රව්‍ය: කිලෝ ග්‍රෑම් 05 යි, ග්‍රැම් 290 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය: කිලෝ ග්‍රෑම් 02 යි, ග්‍රැම් 946 යි, මිලිග්‍රෑම් 800 ක් අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන්වෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ මෙම ජාවාරම පිටුපස සිටින්නේ දැනට විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දේවගේ තුසිත චාමර’ හෙවත් ‘වනාතේ කුඩු තිලාන්’ නමැත්තා බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් මෙම විදේශගත අපරාධකරුගේ මත්ද්‍රව්‍ය තොග එම නිවසේ රඳවා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමේ ජාවාරම මෙහෙයවා තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී ඇති අතර, ජාලයේ සෙසු සාමාජිකයන් සහ ජාවාරමේ මූලාශ්‍ර හඳුනාගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්