spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහය සිදුවුණේ හදිස්සියේ

නිල්වලා විශ්වමාලි කියන්නේ වර්තමානය වනවිට නර්තනයෙන් වගේම රංගනයෙන් ප්‍රේක්ෂකාගාරය හැඩ වැඩ කරමින් ඉහළ රසික ආකර්ෂණයක් දිනාගත් රුවැත්තියකි. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කලනිගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය එතැන් පටන් ටෙලිනාට්‍යය, චිත්‍රපට හරහා විවිධ වූ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට අවතීර්ණ වුණා. කෙසේ නමුත් මේ දිනවල විකාශනය වන නාලන් මෙන්ඩිස් මහතාගේ ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිත නිරූපණයකින් එන ඇයගේ කලා ජීවිතේ වගේම පසුගිය දිනවල විවාහයත් එක්ක අලුත් වුණු ඇගේ පෞද්ගලික ජීවිතේ පිළිබඳ ආදරබර කතාබහකට ඉඩකඩක් වෙන්වුණේ මේ විදිහට.

• ඉතින් කොහොමද ජීවිතේ?

පසුගිය කාලේ නම් කොරෝනා නිසා ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර වුණා. ගෙදරම තමයි ජීවිතේ ගෙවුණේ. දැන් නම් නැවත ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ආරම්භ වුණා. ඊට අමතරව සුපුරුදු විදිහට සාමාන්‍ය ජීවිතේ වැඩකටයුතු කරගෙන යනවා. ජීවිතේ මූලිකත්වය දීලා තියෙන්නේ පවුල් ජීවිතයට තමයි.

• පහුගිය දවස්වල වැඩි සද්ද බද්දයක් නැතුවම විවාහ වුණා කියලා ආරංචියි?

ඇත්තටම මම විවාහ වුණාට පස්සේ පුවත්පතකට කරන පළමු සාකච්ඡාව මේක. අපේ විවාහය ඇත්තටම සිද්ධවුණේ නොසිතපු වෙලාවක හදිසියේම. මේක අවුරුදු ගණනක් සැලසුම් කරලා ගත්ත විවාහ උත්සවයක් නෙමෙයි. ඒ හැමදේම සැලසුම් කළේ සති දෙකක වගේ පොඩි කාලයක් තුළ. කොරෝනා ව්‍යසනය එක්ක හිතවතුන්ව, යාළුවන්ව එකතු කරගෙන කරන්න හැකියාවක් නොතිබුණු නිසා ක්‍ෂේත්‍රයේ කිසිම කෙනකුට අපේ විවාහ උත්සවය කිව්වේ නැහැ. ඒක බොහොම සරලව චාම්ව ගත්ත උත්සවයක්. මගෙත්, සැමියාගෙත් පවුල්වල අය විතරමයි ඒ ලස්සන දවසට එකතු වුණේ.

• කොහොමද නිල්වලාගේ ජීවන සහකරුවා මුණගැහෙන්නේ?

ඔහු කැලුම් වැලිගම. පුවත්පත් කලාවේදියෙක්. අපේ ආදර කතාවට අවුරුදු 2ක වගේ කාලයක් වෙනවා. ඇත්තටම කැලුම් අයියාව මට මුලින්ම මුණගැහෙන්නේ 2018 BMICH එකේ තිබුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. මම පුංචි කාලේ ඉඳලා කැමතියි මනෝවිද්‍යා පොත් කියවන්න. එදා එක පොත් කුටියකින් මම මනෝවිද්‍යා පොත් කිහිපයක් ගත්තා මිතුරියකට තෑගි දෙන්න. කැලුම්ගේ පොත් කිහිපයකුත් ඒ අතර තිබුණා. ගෙදර ඇවිත් කියෙව්වම ඒ පොත්වලට මට ආස හිතුණා. මාස ගාණක් ගිහින් ඒ පොත් ගැන මට දැනුණු දේ මගේ අදහස් ඔහුට කිව්වා. එතන ඉඳලා අපි යාළුවෝ විදිහට කතා කළා. මගේ අධ්‍යාපනයට කලා කටයුතුවලට ඔහු හොඳ මඟපෙන්වීමක් කළා. ඇත්තම කියනවනම් ඒ කතාබහ ආදරයකට පෙරළුණේ පොත්වලට තියෙන කැමැත්ත වැඩිකම නිසාමයි.

• විවාහ යෝජනා, ආදර යෝජනා නම් නිල්වලාට ඕන තරම් එන්න ඇති රංගන ජීවිතේ. ඒ අතරින් ලියන මහත්තයා විශේෂ වුණේ කොහොමද?

මිතුරෙක්, හිතවතෙක් විදිහට මට ජීවිතේ බොහෝ දේවල් කියලා දුන්නේ කැලුම්. කැලුම් නිතරම කියන්නේ අපි විශ්වාස කරන දේ ලැබෙන්න නම් අපි කැපකිරීමක් කරන්න ඕනෑ කියලා. දෙවැනි ඉනිම කළනිගේ චරිතයෙන් නිළියක් විදිහට සිතුවෙවත් නැති තරම් ජනප්‍රියත්වයක් ලැබෙනකොට ආදර යෝජනා විවාහ යෝජනා බොහෝ ආවා. ඒවා ජනප්‍රියත්වය මත ආපු දේවල්. ඒවා හරිම තාවකාලික දේවල් විදිහට තමයි මම දැක්කේ. ඒ අතරේ මට යාළුවෙක් විදිහට මුණගැහුණ කැලුම් අයියාගේ ගරු කළ යුතු බොහෝ ගුණාංග මම දැක්කා. සල්ලි, නිලය, බලය ජනප්‍රියත්වයට වඩා ආදරණීය සැමියෙක් විදිහට මම හොයපු ගතිගුණ සියල්ලම කැලුම් අයියා ළඟ තිබුණා. ඒකයි මට අන් සියල්ලටම වඩා ඔහු විශේෂ වුණේ. ඇත්තටම මම විවාහය ගැන ලොකු උනන්දුවකින් හිටපු කෙනෙක් නෙමෙයි. ඔහුත් එහෙමයි. නමුත් එක තැනකදී මේ ජීවන ගමන අපි දෙන්නට සාර්ථකව යන්න පුළුවන් වේවි කියන දේ හැඟුණා. දෙමාපියනුත් තදින්ම බලපෑම් කළා විවාහ වෙන්න කියලා. ඒ දේවල් එක්ක මම බැලුවා ඔහුගේ අදහස් එක්ක මට ගලපගෙන ජීවත් වෙන්න පුළුවන්ද, මගේ අනාගතයට ඔහුට ශක්තියක් වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම අනෙක් කාරණය තමයි නිළියක් විදිහට මගේ වෘත්තියෙන් ඔබ්බට මාව තේරුම් ගත් එකම පිරිමියා විදිහට මම දැක්කේ කැලුම් අයියාව.
එක තැනකදි අපි දැන් බඳිමු කියලා කැලුම් මට යෝජනා කළා. ෆොටෝෂූට්, ප්‍රීෂූට්, වීඩියෝ, ලොකු උත්සව නැති සරල උත්සවයකින් අවසානයේ අපේ විවාහය සිද්ධවුණා.

• අපි ‘නෑනලා’ ටෙලිනාට්‍යය ගැන කතාකළොත් නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

නාලන් මෙන්ඩිස් මහත්මා මට මීට පෙර ටෙලිනාට්‍යයකට කතා කළා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුවල අවසාන කාලේ හිටපු නිසා මට ඒ නිර්මාණයට දායක වෙන්න බැරිවුණා. ඊට පස්සේ ‘නෑනලා’ පටන් ගන්න කලින් දවසක් මට කතා කරලා කිව්වා මගේ ‘නෑනලා’ ටෙලිනාට්‍ය පටන්ගන්නවා ඒකට සම්බන්ධ වෙන්න කියලා මතක් කළා. සුනන්ද සිල්වා අයියා ‘නෑනලා’ පිටපත් රචකයා කතා කරලා චරිතය ගැන මට කිව්වා. ‘නෑනලා’ කණ්ඩායම එක්ක වැඩ කරන්න ලැබීම කලාව පැත්තෙන් මට ලැබුණු විශාල අවස්ථාවක් විදිහට මම දකිනවා. හිතුවේ නැති තරම් රසික පිරිසක් ‘නෑනලා’ට ඉන්නවා කියලා පාරට බැස්සම මට දැනෙනවා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක. මම නවක නිළියක් විදිහට නාලන් මෙන්ඩිස් වගේ දැවැන්තයකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ඇත්තටම වාසනාවක්. මගේ වේදිකා නාට්‍ය ජීවිතය, කලා පසුබිම එතුමා දැනගෙන හිටියා. ඇත්තටම මම ගොඩක් ටෙලිනාට්‍යවල රඟපාලා නැහැ. මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙන්නේ අඩුවෙන්. තාමත් මම බලාපොරොත්තු වෙන ආකාරයේ චරිතයක් කරන්න ලැබිලා නැහැ.

• ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ ‘වත්සලා’ කියන ඔබේ චරිතය කොහොමද ඔබට දැනෙන්නේ?

මේක විෂමතා රැසක් ඇතුළේ ජීවත් වෙන පවුලක්. ඒ පවුලේ වැඩිමහල්ම දුව, ඒ කියන්නේ වැඩිමහල්ම නෑනා ගීතා කාන්ති ජයකොඩි මහත්මියගේ ලොකු දුව විදිහට තමයි වත්සලා චරිතය කරලියට එන්නේ. වත්සලා කියන්නේ පවුලේ අනිත් අයට වඩා ප්‍රතිවිරුද්ධ මත දරන කෙනෙක්. ඇය පවුල තුළ තියෙන පන්ති ගැටුමක් වෙනුවෙන් අරගල කරන යුවතියක්.

• සැබෑ ජීවිතේ නෑනා භූමිකාවෙත් නිල්වලා අරගල කරන කෙනෙක්ද?

අපෝ නැහැ. විවාහ වුණාට පස්සේ මටත් ලැබුණා පොඩි නෑනා කෙනෙක් සහ ආදරය පිරුණු පවුලක්. අපෝ අරගල නැහැ. මගේ නෑනා මට මගේ දරුවෙක් වගේ. ඇත්ත ජීවිතේ මට ආදරණීය නෑනා කෙනෙක්. හැබැයි මේ චරිත සැබෑ සමාජයේ තියෙනවා. හැඟීම් දැනීම් වෙනස් විදිහට දැනෙන මිනිස්සු තුළ වත්සලා වගේ චරිත ඕනතරම් මේ සමාජයේ ජීවත්වෙනවා. 

• ඉතින් දිගටම කලාවේ රැඳෙන්නද බලාපොරොත්තුව?

උපාධිය සම්පූර්ණ කර අවසන්. ඒත් ගුරු වෘත්තියට ගිහින් පාසලකට හිර වෙනවට වඩා ලැබූ අධ්‍යාපනයෙන් කලාව පැත්තෙන් යමක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මනෝවිද්‍යාව පිළිබඳවත් හැදෑරීම් කරගෙන යනවා. ඇත්තටම මම කලාවට එනවට මගේ දෙමාපියෝ කැමති වුණේ නැහැ. අම්මා සහයෝගය දුන්නත් තාත්තා කැමති වුණේම නැහැ. ඒත් අද මම ඉන්න තැන දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ තාත්තා. කලාවට පය තිබ්බේ මම තනියම. ඥාතිකම් හිතවත්කම්වලට මම චරිත අරගෙන නැහැ. තිර පරීක්ෂණවලට මුහුණදීලා අවශ්‍ය සුදුසුකම් සපුරලා තමයි මම මේ කලා ගමන ආවේ. මම රඟපාලා තියෙන්නේ පුංචි ප්‍රමාණයක වුණත් ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට හොඳටම ඇති. කොහොමත් මැරෙන තුරාවට රඟපාන බලාපොරොත්තුවක් මට නැහැ. අර්ථවත් වැඩක් ලැබුණොත් දායක වෙනවා. ඉදිරියටත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

• ලියන මහත්තයා එක්ක පටන්ගත්තු ජීවිතේ මොනවද අනාගත සැලසුම්?

තනිකඩව ඉන්න කාලෙට වඩා ඉතින් ජීවිතේ දැන් සංකීර්ණයි. මගේ ජීවිතේට ලොකු අර්ථයක් එකතු කළේ එයා. ජීවිතේ තිබුණු ලොකු හීනයක් තමයි අපේම කියලා නිවසක් ඉදිකරන එක. පහුගිය දවස්වල ඒ හීනෙත් සැබෑ කරගත්තා. අතුරුගිරියේ නව නිවසක් ඉදිකරලා අපි පදිංචියට ගියා. ලියන මහත්තයා එක්ක ගෙවන ජීවිතේ හරිම නිදහස් වගේම හරිම සුන්දරයි. මොකද ජීවිතේ ගලපගන්නේ අපි දෙන්නට දෙන්නා තේරුම් අරන් නිසා.

නදීශා අතුකෝරළ

ඡායාරූප: හර්ෂ මධුරංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?