විමල් කියන හැටියට චීනය අපි වෙනුවෙන් අපේ ණය ගෙවයි ද ?

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ජාත්‍යන්තර ණය කන්ද ගෙවීමේ වගකීම චීනයට පවරා පසුව වාරික වශයෙන් එම මුදල චීනයට ගෙවීමට අවසථාව තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට පෙර එලෙස චීනයෙන් සහය ඉල්ලා සිටියේනම් මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසිවලින් ගැලවී සිටින්නට අවස්ථාව තිබූ බව වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහසය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

ඉතා ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහල දැමීම,ආදායම් බදු සීමා වැඩිකිරීම ,රාජ්‍ය දේපල විකිණීම තත්ත්වයනට මුහුණ දීමට සිදුව තිබෙන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුවය.

මෙම තත්ත්වය මත රටේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගත් විට වීරවංශ මන්ත්‍රීවරයා කියන අදහස අසනවිට පවා සිතට ඇති වන්නේ පුදුමාකාර සහනයකි.

වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස කොතරම් සැනසිලිදායක වුවත් අපට මතුවන පළමු ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කිරීමට පෙර මෙවැනි යෝජනාවක් ඉදිරිපත් නොවූයේ කුමක් නිසාද යන්නය.

එසේ වූයේ නම් ඒ ගැන සංවාදයක් ඇතිකර තීරණයක් ගැනීමට ඉඩ තිබිණ.

කෙසේ වුවද ආණ්ඩුව මේ වන විට මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ අවසන් වුව ද වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාව සලකා බැලීමට බාධාවක් ඇතැයි අප සිතන්නේ නැත.

එහෙත් ඊට පෙර අප කල්පනා කළ යුත්තේ චීනය අපේ ණය කන්දේ බර දරන්නට එකඟ වනු ඇත්ද යන්නය.

චීනය මෙන්ම ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනා කියන්නේ චීනය ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා බවය.

අපේ ණය ගෙවීමට චීනය එකඟ කරවා ගත හැකිව තිබූ බව වීරවංශ මන්ත්‍රීවරයා කියන්නේද එම පදනමින් විය හැකිය.

එසේම චීනය ණය දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව හෝ ඇමරිකාව සහ බටහිර රටවල් මෙන් දේශපාලන කොන්දේසි ඉදිරිපත් නොකරන බවට පවතින මතයද ඔහුගේ එම ප්‍රකාශයට හේතු වන්නට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ණය දෙන්නට පෙර බදු ඉහළ දැමීම වැනි වේදනාත්මක කොන්දේසි පනවන අතර ඉතාමත් පරීක්ෂාකාරී ණය පසු විපරම් වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලබයි.

ඇමරිකාව ,සහ යුරෝපා රටවල් සහ එම රටවල් සම්බන්ධ සංවිධාන ණයදීමේ දී ණයගැති රටේ මානව හිමිකම් තත්ත්වය ,ප්‍රජාතන්ත්‍රවාදයේ පරිමාව,පාරදෘශ්‍ය භාවය වනි කාරණා ද සැලකිල්ලට ගනු ලබයි.

ඉන්දියාව හැම විටෙකම ඉදිරිපත් කරන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් සහතික කිරීම,13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම වැනි කාරණාය.

චීනය කිසිම විටෙක ශ්‍රී ලංකාවට ණය දීමේදී ඉහත ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කර ඇති බවක් වාර්තා වී නැත.

චීනය කිසිම විටෙක ඉන්දියාව හෝ වෙනත් රටවල් මෙන් ණය ලබා දීමට දේශපාලන කොන්දේසි ඉදිරිපත් කර නැති බව සත්‍යයකි.

එහෙත් චීනය හැම විටම පෙරලා කිසිවක් ලබා ගැනීමේ අදහසින් තොරව ශ්‍රී ලංකාවට ආධාර දී තිබෙන්නේයැයි කිව හැකිද ?

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය යනු ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවටත් වඩා චීනයේ අවශ්‍යතාවට ඉදිකළ ව්‍යාපෘතියකි.චීනයේ එක් මාවතක් එක් තීරයක් වැඩසටහන සඳහා හම්බන්තොට වරාය චීනයට උපායමාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයකි.

ඒ අනුව බලන කළ චීනය හම්බන්තොට වරාය ඉදිකල යුතුව තිබුනේ ඔවුන්ගේ ප්‍රදානයක් ලෙසය.

එහෙත් එසේ වූයේ නැත.

හම්බන්තොට වරාය ඉදිකෙරුනේ සංවර්ධන ණය යටතේ හෝ නොව ඔවුන් විසින් ලබා දුන් වැඩි පොළියක් ගෙවීමට සිදුවන වාණිජ ණයක් යටතේය.

අවසානයේ එම ණය ගෙවීමට නොහැකි බව එවකට පැවතී යහපාලන රජය දැනුම් දුන් විට සහනයක් දෙනවා වෙනුවට කලේ චීනය විසින්ම අනූනව වසරකට එය බදු ගැනීමය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද චීන වාණිජ ණය යටතේ ඉදිකළ ව්‍යාපෘතියකි.

එහි අයිතිය ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට වුවත් එය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන තීරණාත්මක බලය ඇත්තේ චීනය සතුවය.

මෙම බලාගාරයේ කිසියම් දෝෂයක් ඇති වුවහොත් එය නිවැරදි කිරීමට චීන ඉන්ජිනේරුවන්ම අවශ්‍ය වන නිසාය.

නිතර නිතර ක්‍රියා විරහිතවන මෙම බලාගාරය ද චීනය විසින් හම්බන්තොට වරාය මෙන්ම බද්දට හෝ මිලදී ගැනීමේ සූදානමක් තිබෙන බවට වරෙක පුවත් පැතිර ගියේය.

තවමත් එවැන්නක් සිදුව නැතත් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කළ ආකාරය අනුව විය නොහැක්කක් යැයි එක හෙළා බැහැර කිරීමට ද නොහැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටනොවී අපේ විදේශ ණය ගෙවා දමන්නැයි ඉල්ලා සිටියේ නම් අපට සහනයක් ලබා ගත හැකිව තිබූ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන නමුත් එවැනි විශ්වාසයක් ඇතිවන ඉඟියක් හෝ චීනය විසින් ලබා දී නැත.

කොවිඩ් වසංගතය විසින් උග්‍ර කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව වූයේ රට බංකොලොත් තත්ත්වයට පත් වීමය.

රටේ ජනතාව ඉන්ධන,ගෑස් ,මෙන්ම විදුලිය හිඟයෙන් දැඩි පීඩාවට පත් වූ අතර ඉන්ධන පෝලිම්වල දින ගණන් සිටි සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයටද පත්විය.

ඒ සමඟ ඇති වූ ඖෂධ හිඟය තවමත් මුළුමනින්ම අවසන්ව නැත.

ශ්‍රී ලංකාව එතරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින විට අවස්ථාවේ හෝ දිරි ගන්වන සුළු ප්‍රතිචාරයක් චීනයෙන් ලැබුනේ නැත.

රට පත්ව තිබූ එම භයානක තත්ත්වයෙන් ගොඩ ඒමේ පළමු පියවර තබන්නට හැකි වූයේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන හතරකට ආසන්න ණය මාර්ගයක් විවෘත කිරීම නිසාය.

ඇත්ත වශයෙන්ම චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකුනම් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට ඉදිරිපත්වීමට පෙර තමන්ගෙන් ලබාගෙන තිබෙන ණය කපා හැරීමට අවස්ථාව තිබුනා නොවේද?

තමන් ලබාදී තිබෙන ණය කපාහැරීම කෙසේවෙතත් චීනය අනෙකුත් රටවල් ශ්‍රීලංකාවට ලබා දීමට යන ණය සහනය හෝ ලබා දීමට සූදානම් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීම සඳහා ඉදිරිපත් කළ එක කොන්දේසියක් වූයේ ණය ලබා දී තිබෙන සියලු රටවල් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතුය යන්නය.

එම එකඟතාව ලබාදුන් පළමු රට ඉන්දියාව වූ අතර පැරිස් සමාජය ,ජපානය ඇතුළු සියළු රටවල් වහාම එම එකඟතාව ලබා දුන්නත් චීනය එම එකඟතාව සෑහෙන කාලයක් ගැනීමෙන් අනතුරුව අවසානයටය.

චීනයේ ප්‍රමාදය නිසා ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ සහන ලබාගැනීම සැලකිය යුතු කාලයකින් ප්‍රමාද විය.

ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන ණය සඳහා වසර 10ක සහන කාලයක් ලබාදීමටත් ඉන් පසු වසර 15ක් තුල එම ණය වාරික වශයෙන් අයකර ගැනීමටත් පැරිස් සමාජය දැනටමත් කැමැත්ත පල කර තිබේ.

ඉන්දියාව තම ණය සහන රාමුව ප්‍රකාශයට පල කර නැතත් බොහෝ විට ඔවුන් ද පැරිස් සමාජය අනුව යනු ඇතැයි විශ්වාසය පලව තිබේ.

එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඒකපුද්ගල ණය හිමියා වන චීනය තවමත් ප්‍රකාශ කර ඇත්තේ වසර දෙකක ණය සහන කාලයක් පමණකි.අපගේ සියලුම විදේශ ණය ගෙවන ලෙස ඉල්ලා සිටිය යුතුව තිබුනේ යැයි වීරවංශ මන්ත්‍රීවරයා කියන්නේ එම චීනයෙනි.

වීරවංශ මන්ත්‍රීවරයා කියන ආකාරයට චීනයට අපගේ ණය කන්ද තමන්ගේ මුදලින් ගෙවා අප ණයගැති භාවයෙන් නිදහස් කිරීමේ හැකියාවක් ඇතැයි අප සිතන්නේ නැත.

වැරදීමකින් හෝ චීනය එවැන්නකට කැමැත්ත පල කළ ද එය පිළිගත යුතු යැයි ද අප සිතන්නේ නැත.

ලෝකයේ කිසිම රටක් තවත් රටක ණය තමන්ගේ මුදලින් ගෙවා පසුව අයකර ගැනීමක් මෙතෙක් සිදුව නැත.

අනාගතයේදී ද එවැන්නක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

යම් හෙයකින් එලෙස එක් රටක් තවත් රටක ණය ගෙවන්නට ඉදිරිපත් වුවහොත් ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වන මිල තම රටේ ස්වාධිපත්‍ය තරම් විශාල ,වටිනා හා බැරෑරුම් වනු ඇත.

චීනය අපගේ ජාත්‍යන්තර ණය ගෙවන්නට ඉදිරිපත් වුවහොත් ඒ වෙනුවෙන් හම්බන්තොට වරාය බදු දුන්නා සේ මුළු රටම අනූනව අවුරුද්දකට බදු දෙන්නට සිදුවනු ඇත්දැයි දන්නේ කවුද?

චීනය ඇත්තටම අපේ මිතුරෙකුනම් මේ අවස්ථාවේ කළ යුතු ලොකුම උපකාරය වන්නේ අප විසින් ඔවුන්ට ගෙවිය යුතුව තිබෙන ණය සඳහා පිළිගත හැකි හා ප්‍රයෝජනයක් තිබෙන, ඇත්තටම අපට සහනයක්වන ණය සහන රාමුවක් ප්‍රකාශයට පත් කිරීමය.

ඒ සඳහා චීනය කැමති කරවා ගැනීම වීරවංශ මන්ත්‍රීවරයා වැනි චීන මිතුරන්ගේ ද වගකීමකි.

  1. KETIYEN KIYANWANAM CHEENNUNGEN NAYA GANNAKOTA KONDESITH NAHE, GANIPU NAYA WALATA SAHANAYAKUTH NAHE. UNGE RATEYI MINISSU MARILA MARILA HAMBA KARANA SALLI APITA NIKAM DEELA DANNA UNTA PISSU DHA. MEKE INNA HORA HATHTHA OYA NAYA WALIN 50% WADA HORA KEWA. EKANE ATHTHA. NATHINAM MEHEMA WENNE KOHOMA DHA. MULIN DOLLAR BILLION 25 KIYUWA, ITA PASSE 30 ITA PASSE 35 ITA PASSE 40 ITA PASSE 50 DAN KIYANNE MULU NAYA BARA DOLLAR KOTI 80,000 KIYALA. YAKO ME KAPEDHI OKA GEWANNA HAKI DHA. BAHE.